The-board-of-the-Presidents-office-was-pasted-on-the-car-and-the-money-was-sent-to-the-country

ජනාධිපති කාර්ය සාධන බලකායේ සේවය කරන බව හඟවමින් විදේශ රැකියා ලබා දීමට මුදල් ලබා ගත් බව කියන පුද්ගලයකු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නවසීලන්තය, දකුණු කොරියාව, ජපානය, නෙදර්ලන්තය වැනි රටවල්වල රැකියා අවස්ථා ලබා දෙන වැඩ සටහනක් ක්‍රියාත්මක වන බවත්, එම රැකියා අවස්ථා ලබාදීමට හැකි බවත් පවසමින් සැකකරු මුදල් ලබා ගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇත.



එක් රැකියා අවස්ථාවක් සඳහා රුපියල් ලක්ෂ 15 ක් වැය වන බවත්, මුලින් රුපියල් 7,50,000 ක් ගෙවිය යුතු බවටද සැකකරු පවසා ඇත. එමෙන්ම මෙම රැකියා වැඩ සටහන සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, විෂය බාර ඇමැතිවරයාගේ සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයාගේද සහාය ලැබන බවද සැකකරු පවසා තිබී ඇත.

ලැබී තිබූ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වී ඇති විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සැකකරු උපක්‍රමශීලීව බත්තරමුල්ල ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇත. සැකකරු පැමිණ ඇති මෝටර් කාර් රථයේ ඉදිරිපස "ජනාධිපති ලේකම් කාර්යාලය" යන පුවරුවක්ද ප්‍රදර්ශනය කර තිබී ඇත.



විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උපාය දූතයන්ට සැකකරු පවසා ඇත්තේ තමන් නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන රාජ්‍ය නිලධාරියකු බවය. සැකකරු විසින් උපාය දූතයන්ට ලබාදීම සඳහා රැකියා ගිවිසුමක්ද සකස් කර තිබී ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 19 වෙනිදා කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජුඩ් සමන්ත-පුත්තලම