The-child-who-broke-the-brake-of-the-bicycle-and-died-in-the-accident-closes-his-eyes-the-day-after-his-birthday

දොම්පෙ දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලයේ 8 වන වසරේ ඉගෙනුම ලැබූ දරුවකු පාපැදි අනතුරකින් තුවාල ලැබ සිය උපන් දිනයට පසුදා මිය ගොස් තිබේ. මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවේ දංගල්ල 492/2 නිවෙසේ පදිංචිව සිටි රුසිරු රන්තිල නමැති දරුවායි.

ඉකුත් 26 දින ඔහු තම මිතුරන් සමඟ පාපැදිවලින් අමිතිරිගල කනුගල ප්‍රදේශයේ දිය නෑමට යමින් සිටිය දී පාපැදියේ තිරිංග අක්‍රීය වීම නිසා මේ අනතුරට මුහුණ පා තිබිණි.

එහිදී පාපැදිය අසල වූ ගලක ගැටී පෙරළී එම අවස්ථාවේ පාපැදියේ ගමන් කළ දරු දෙදෙනා මාර්ගයේ ඇද වැටී තුවාල ලබා ඇත. ඔවුන් දෙදෙනා අවිස්සාවේල්ල රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රුසිරු රන්තිල සිසුවා බරපතළ තත්ත්වයෙන් පසු වූ බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. අනතුර සිදු වූ දිනට පසු දින ඔහුගේ 14 වන ජන්ම දිනය ද යෙදී තිබූ අතර ඊට පසු දින දරුවා ජීවිතයෙන් සමුගෙන ඇත.



ඔහුගේ මිතුරා ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇත. ඔහුගේ පියාගේ මරණය සිදුවී වසර 3ක් බව පැවසේ. මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවිස්සාවේල්ල රජයේ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂක වෛද්‍ය එම්. ඒ.ආර්. ඒ. එස්. රාජපක්ෂ මහතා විසින් සිදු කර ඇති අතර හිසට බරපතළ ලෙස තුවාල සිදුවීම නිසා මොළයට ලේ ගැලීමෙන් මරණය සිදුව ඇති බව තීරණය කර ඇත. රුවන්වැල්ල පොලිසිය මරණ පරීක්ෂණය සඳහා අවශ්‍ය කටයුතු සලසා තිබිණ.

කිරිඳිවැල පී. එස්. තැලිගම