The-judge-involved-in-the-Kurundi-temple-issue-resigned-and-left-the-country-saying-there-were-threats

ජීවිත තර්ජන ඇතැයි පවසමින් මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී. සරවණරාජා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ සිදුවීමක් ඊයේ වාර්තාවිය.
අස්වීමේ ලිපියද මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
2023 සැප්තැම්බර් 23 දාතමින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට යොමු කර ඇති ලිපියේ තමන් දරන ලද සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සඳහන් කර තිබේ.
මෙහිදී විනිසුරුවරයා දක්වන්නේ
‘තමන්ගේ ජීවිතයට ඇති තර්ජන සහ අධික මානසික පීඩනය‘ හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මෑත කාල සීමාවේදී වැඩි අවධානයක් හිමිවූ සිදුවීම් දෙකකට අදාළ නඩු කටයුතු පැවතියේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේයි.


කුරුන්දි විහාරය සම්බන්ධ නඩ‍ු කටයුතු පැවැත්වුණේ ටී. සරවණරාජා විනිසුරුවරයා ඉදිරියේදීයි.
කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මුලික පරීක්ෂණ කටයුතු සිදුකෙරුණේ ද විනිසුරු සරවණරාජා ඉදිරියේය.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ මෙම විනිසුරුවරයා අභියාචනාධිකරණය හමුවේ විභාගවන නඩු පහකට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිට ඇතැයිද ඒ සඳහා උපදෙස් ගැනීම සඳහා විනිසුරුවරයා සිය කැමැත්තෙන්ම නීතිපතිවරයා හමුවීමට ගොස් ද තිබූ බවයි.
 විනිසුරුවරයාට ජීවිත තර්ජනයක් තිබුණේ නම් විනිසුරුවරයෙකු ලෙස ඒ සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව හා බලයද ඔහුට තිබූ බැවින් ජීවිත තර්ජන කතාව පිළිගත නොහැකි බවද බීබීසිය කළ විමසීමකදී ඇමති කියා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සෑම විනිසුරුවරයෙකුට නියමිත ආරක්ෂක භටයින් පිරිසක් අනුයුක්ත කර ඇති බවත් ආරක්ෂාව ගැන ගැටලු නැති බවත්ය.



කුරුන්දි විහාරයේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කර සර්වඥ ධාතුන් තැන්පත් කරන්න ගියාම මහානායක හිමි ඇතුළු මහා සංඝරත්නයට සහ බැතිමතුන් පිරිස මැර දෙමළ දේශපාලකයින් පළවා හැර තිබූ අතර
මහේස්ත්‍රාත්වරයාගේ තීරණ බොහෝ විට දෙමළ ජනයාට පක්ෂපාතී විය.
ඒ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී මීට මාස කීපයකට පෙර  කියා සිටියේ
‘ඔහු ගැන අපට කිසිසේත්ම සෑහීමට පත්වෙන්න බැහැ. ඒ චෛත්‍ය සංරක්ෂණය කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥයෝ. ඒකට පාවිච්චි කරන ද්‍රව්‍ය ගැන කතා කරන්න මහේස්ත්‍රාත්වරයාට බලයක් හෝ දැනුමක් නැහැ. ඒකෙ තියෙන පුවරුව ගැන ප්‍රශ්න කරන්න මහේස්ත්‍රාත්වරයාට බලයක් නැහැ. ඒක කරන්නේ පුරාවිද්‍යා නිලධාරින්."
ලෙසිනි.
විනිසුරු ටී. සරවණරාජ විනිසුරුවරයා සතියකට පමණ පෙර කොළඹට පැමිණ සිය මෝටර් රථයද විකුණා ඇති අතර ඔහු බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනෙකුද හමුවී මෙලෙස ධුරයෙන් ඉවත්ව ඇති බවත් වාර්තාවන අතර මේවන විට දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවට දෙමළ භාෂා පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබේ.