The-murder-of-the-three-wheeler-driver-in-Wellampitiya-was-done-by-Ravi-Blumenthal-from-Dubai

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරකුගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඩුබායි රටේ සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බ්ලූමැන්ඩල් රවී නමැත්තා විසින් මෙහෙය වූ එකක් බවට අනාවරණය වූ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.



එම ඝාතනයට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් බ්ලූමැන්ඩල් රවී නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් පරිපාලක ලෙස කටයුතු කරන කොටහේන, කොටහේන වීදිය ප්‍රදේශයේ පුද්ගලයකු හා ජාවාරමට සහ ඝාතන සිද්ධියට ඍජුව සහාය ලබා දුන් කාන්තාවක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු සන්තකයේ තිබී එම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් දාහත් ලක්ෂ පනස් නව දහසක (17,59,000) මුදලක්, අලුත්ම ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන 9ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, යතුරුපැදි, ත්‍රිරෝද රථ හා ලොරි රථ 21 කට අයත් ආදායම් බලපත හා රක්ෂණ සහතික 21ක් විවිධ බැංකු පොත් දහයක් සැකකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ 15 මෝදර මාදම්පිටිය පාර පදිංචිව සිටි මොහොමඩ් තමිම් මොහොමඩ් සාජාහාන් නමැත්තා ඉකුත් 28 වැනිදා උපක්‍රමශීලීව වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයට ගෙන්වාගෙන හිසට වෙඩි තබා ඝාතනය කර තිබිණි.



එම ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා නියෝග මත බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන පවත්වා ඝාතනයට ලක්වූ පුද්ගලයා සමග අවසන් වරට දුරකතන සබඳතා පැවැත්වූ කාන්තාව වන සැකකාරිය කොළඹ 15 අලුත් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඉන්දියාවේ සිරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ෆු කුඩු කන්නාගේ ප්‍රධාන ගෝලයා වන ඩුබායි රටේ සැඟවී සිටින බ්ලූමැන්ඩල් රවී නමැත්තා මෙරට මෙහෙය වන මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් භාරකරු ලෙස කටයුතු කරන සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය අනතුරුව එම සැකකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඝාතනය සිදුකර ඇත්තේ ඝාතනයට ලක්වූ ත්‍රීරෝද රථ රියැදුරු ප්‍රබල පාතාල නායකයකුගේ බිරිඳ සමඟ පැවැත් වූ අනියම් සම්බන්ධතාවකට පළිගැනීමට බව අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

එම ඝාතනයට ලක්වූ පුද්ගලයා මීට පෙර ඉන්දියාවේ සිරගතව සිටින ෆු කුඩු කන්නාගේ නැගණිය සමඟ ද අනියම් සබඳතාවක් පවත්වා තිබූ අතර එයට කුඩු කන්නා අවවාද කිරීමෙන් අනතුරුව එය නවතා දමා තිබූ බවද පොලිසිය කියයි.



බ්ලූමැන්ඩල් රවී නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සෙසු අපරාධ සඳහා අලුත්ම ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන ඔහුගේ මුදල් පරිපාලකවරයාට එවා එක් අපරාධයක් සිදු කිරීමෙන් අනතුරුව එම දුරකතනය විනාශ කිරීම සඳහා උපදෙස් දී තිබූ බවද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ඉකුත් මස 1 වැනි දින සිට 27 වැනි දින දක්වා සැකකාරිය ඝාතනයට ලක්වූ ත්‍රිරෝද රථ රියැදුරු සමඟ කුලී ගමන් ගොස් හිතවත් වී ඇති අතර අනතුරුව ඩුබායිහි සිටින බ්ලූමැන්ඩල් රවීගේ උපදෙස් මත නිවසේ සිට ත්‍රිරෝද රථ රියැදුරුට දුරකතන ඇමතුමක් දී වැල්ලම්පිටියට ගෙන්වා ගෙන බව පොලිස් විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

සැකකරු සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

  බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ