උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් වූ අට හැවිරිදි පාසල් ශිෂ්‍යාවගේ අතක් කපා ඉවත් කිරීමට සිදු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එම වාට්ටුව භාර හෙදියගේ විදෙස් ගමන් තහනම් කිරීමට යාපනය මහෙස්ත්‍රාත්වරයා ඉකුත් 7 දා නියෝග කළේය.
මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ දැරියගේ පියා ඇතුළු පිරිසක් එම හෙදියට එරෙහිව යාපනය අධිකරණය වෙත ගොනු කරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවය.
යාපනය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවේ හෙදියක් මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අතර ඇයගේ නොසැලකිල්ල හා වැරදි ලෙස එන්නතක් ලබාදීම හේතුවෙන් දැරියගේ අත කපා ඉවත් කිරීමට සිදු වූ බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි පවසයි.
උණ රෝගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අට හැවිරිදි දැරියට එන්නත් කිරීමේ දෝෂයක් හේතුවෙන් ඇයගේ වම් අත කපා දැමීමට සිදුව ඇතැයි මේ ගැන දැරියගේ මව පවසා තිබේ.
දැරිය උණ රෝගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු ප්‍රතිශක්තිය
සඳහා ඖෂධ එන්නත් කර ඇති බව නේවාසිකාගාරයේ රාජකාරියේ යෙදී සිටි හෙද නිලධාරීනිය දන්වා ඇති අතර එන්නත් කළ දිනට පසු දින රාත්‍රියේ ඒ ගැන විමසූ විට එම එන්නත ලබාදුන්නොත් අසනීප වන බවට නේවාසිකාගාරයේ හෙද නිලධාරීන් පිළිතුරු දුන් බවට මවුපියන් චෝදනා කර තිබේ.
මෙහිදී වෛද්‍යවරුන් පැවසුවේ දැරියගේ අතේ ස්නායුවලට බලපෑම් එල්ල වී ඇති බැවින් එය ඉවත් කිරීමට
සිදු වූ නමුත් ශල්‍යකර්මයක් මගින් දැරියගේ අත මැණික් කටුව සමඟ ඉවත් කළ බවයි.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් වෛද්‍යවරු දෙදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් කැඳවා ඇති අතර ඔවුන්ගේ වාර්තාව මේ වන විට ලබා දී අවසන්ව ඇතත් වරද කරුවන් සම්බන්ධයෙන් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තොරතුරු හෙළි නොකිරීම නිසා යාපනය රෝහල ඉදිරිපිට විරෝධතා කීපයක්ම සංවිධානය කොට තිබුණි.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ආණ්ඩුකාරවරියගේ සහාය ඇතිව එම විරෝධී කණ්ඩායම් පොලිසිය යොදවා ඉවත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයාගෙන් මේ ප්‍රශ්නයට සාධාරණයක් ඉල්ලා යාපනයේ වැසියන්ගෙන් පෙත්සමක් අත්සන් කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.
පොලිසිය විරෝධතා කරුවන් ඉවත් කළද ඔවුන් යාපනය නගරයේ කෑ කෝ ගසමින් සාධාරණයක් ඉල්ලා පෙළපාලි ගියහ. පොලිසියේ මැදිහත් වීම මත එයද අසාර්ථක වීමෙන් පසුව යාපනයේ පිරිසක් දැරියගේ පියා හා ඤාතීන් කීප දෙනෙකු කැටුව යාපනය අධිකරණය වෙත ගොස් අධිකරණයේ ගොනු කළ නඩුවක් හේතුවෙන් හෙදියගේ විදෙස් ගමන් තහනම් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ නඩුව ලබන 18 වැනිදාට විභාග කිරීමටද යාපනය අධිකරණය පියවර ගෙන තිබේ.
0 Comments