The-opposition-brought-no-confidence-motions-without-a-vine-to-hang-on-to-Keheliya

මේ වනවිට විශ්වාසභංගයකට මුහුණදී සිටින සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ඉරිදා පුවත්පතකින් කළ විමසීම් වලට ලබාදී ඇති පිළිතුරු මේ සමග පළවේ.



පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන නිසානේද විහ්වාස භංගෙට  භය නැතිව ඉන්නේ?

පිළිතුර:- ඒක දේශපාලන හේතුවනේ. නමුත් ඊට වැඩිය මේකේ තියෙනවනේ සමාජයීය හේතුවකුත්
මෙතැන දී මට චෝදනා හතරක් එල්ල කරලා තියෙනවනේ. ඒ චෝදනා හතරම ඉතාමත් ද්වේෂ සහගත ලෙසයි ඉදිරිපත් කරලා තියෙන්නේ. කරුණු පිළිබඳව අධ්‍යයනයක් නැතිව වෙලාවට කාට කාට හරි හිතිච්ච ඒවා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇත්තටම ඒ කරුණු හතරටයි උත්තර දෙන්න තියෙන්නේ. දවස් තුනක් නොවෙයි පැය දෙකක් තිබ්බා නම් මට හොඳටම ඇති.

නමුත් සජිත් ප්‍රේමදාසගේ ක්‍රියා කලාපය අනුව එයා ඉතින් හැමදාම උදේට පැය දෙකක් ගන්නවනේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඒක කොහොම ගළපා ගන්නවද කියන්න මම දන්නේ නෑ. මට ඔය ප්‍රශ්න හතරට හොඳට උත්තර දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එහි තිබෙන යම් යම් සාවද්‍ය තත්ත්වයන් නිවැරැදි කරන්න මෙක හොඳ අවස්ථාවක්. රට ඉදිරියේ කෑගහගෙන බෙරිහන් දීගෙන කියන කරුණු වලට සැබෑ ලෙස උත්තර දෙන්නත් යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරැදි කරගන්නත් ඒවාට පසුබිම තත්ත්වයන් සාකච්ඡා කිරීමටත් මේක හේතුවක්.



ලෙඩෙක් වී මරණයට හේතුවක් වන තරමට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය පිරිහිලා ?

පිළිතුර:- මතක තියා ගන්න ඉතිහාසයේ පළමු වතාවට බංකොළොත් රටක් බවට මේ රට ප්‍රකාශයට පත් කළා. 2020 - 2022 මේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත අර්බුදයක්, අභියෝගයක් නිර්මාණය වුණා. ඒ සමගම අපේ රටට විදේශ විනිමය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු වුණා.
සියයට 85 ක් පමණ අපි පිටරටින් බේත් ගේන්නේ. සියයට 15 ක් පමණයි අපි මෙහෙ නිෂ්පාදනය කරන්නේ. ඒක වැඩි කරගන්න අපි සාධනීය උත්සාහයක ඉන්නේ.
ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වන්නෙත් පිටරටින්. ඒ වගේ ප්‍රශ්න අපට තියෙනවා. සමස්තයක් හැටියට ගත්තාම ඉතිහාසයේ අපි දන්නා ලොකුම ආර්ථික, දේශපාලනික සාමාජික ව්‍යසනයටනේ අපි මුහුණ දීලා ඉන්නේ. සෞඛ්‍ය තියෙන්නෙත් මේ අර්බුද පොකුර ඇතුළෙමයි. මේක බරපතළ පීඩනයක් සහිත අවස්ථාවක්.



සෞඛ්‍ය ඇමති හැටියට නොවෙයි සාමාන්‍ය පුරවැසියෙක් හැටියට හෘදය සාක්ෂියෙන් මට උත්තරයක් දෙන්න. මේ මොහොතේ මේ රටේ ඉන්න සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශ්වාසය භංග වෙලා කියලා ඔඛ හිතන්නේ නැද්ද ?

පිළිතුර:- නෑ. විශ්වාසය භංග කරන්න උත්සාහයක් තියෙනවා. ඒකට ඉතින් විපක්ෂයට දොස් කියලත් වැඩක් නෑ. මොකද විපක්ෂයට අනාගතයක් පේන්න නෑ. කොහේ හරි පරඬලාවක එල්ලෙන්න බලනවා. ඒකට තමයි ජනතාවගේ දෛනික ජීවිතය කඩාකප්පල් කරන එක.
අස්වැසුම කඩාකප්පල් කරන්න දගලපු දැඟලිල්ල දැක්කනේ. ඊට පස්සේ ඉඩෝරය අල්ලාගෙන ආපිෂන් අමුඩ ගස්සලා ගොවියන් කොළඹට ගෙන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒකත් වැරදුනාම සෞඛ්‍ය ක්ෂේත්‍රය අල්ලා ගත්තා. බලනවා මළ කඳක් අල්ලගෙන ඒකෙන් වාසියක් ගන්න.
ඔබ අහපු ප්‍රශ්නයට යළි මට දෙන්න තියෙන උත්තරය තමයි විශ්වාසය භංග වෙලා නෑ. නමුත් එහෙම තත්ත්වයක් ඇති කරන්න උත්සාහ කරනවා.

සාකච්ඡාව - ප්‍රසන්න සංජීව තෙන්නකෝන් (ඉරිදා ලංකාදීප)