විශ්වවිද්‍යාල වල ආචාර්යවරුන් රට හැරයෑම නතර කර ගැනීමට රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් මෙරට විශ්වවිද්‍යාලවලට දී තිබෙන ජාත්‍යන්තර ශ්‍රේණි ගතකිරීම් පවා පහත වැටීමේ අවදානමක් උද්ගතව තිබෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය බරණ ජයවර්ධන මහතා පවසයි. මෙම තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල පද්ධතිය බරපතළ කඩා වැටීමේ අවදානමකට ලක්ව තිබෙන බව අවධාරණය කරන ජයවර්ධන මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දත්තවලට අනුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් 12,000ක් සිටිය යුතු වුවත් මේ වන විට සිටින්නේ ආචාර්යවරුන් 6000-7000 අතර සංඛ්‍යාවක් බවද අවධාරණය කරයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පෙරේදා (04දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ආචාර්යවරුන් රට හැර යෑමට අමතරව රජය නව බඳවා ගැනීම් සිදු නොකිර්මද මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි. විශ්වවිද්‍යාලයක සිසුන් දස දෙනෙකුට එක් ආචාර්යවරයකු ලෙස සිටිය යුතු බවට ලෝකය පිළිගත් අනුපාතයක් පැවතිය ද එම පිළිගත් අනුපාතය ශ්‍රී ලංකාවේ මේ වන විට සිසුන් 60කට එක් ආචාර්යවරයකු දක්වා පහත වැටී ඇතැයි ද ඒ මහතා පැවසීය.
එම සමිති සම්මේලනයේ හිටපු සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නහැක මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ මේ වසරේ මුල් මාස හයේදී පමණක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 600දෙනෙකු පමණ රට හැර ගොස් තිබෙන බවත්, තවත් පිරිසක් නුදුරේදීම රටින් පිටවීමේ සූදානමින් සිටින බවත්ය.
රජය හඳුන්වා දුන් බදු ක්‍රමයෙන් පීඩාවට පත්වූ ආචාර්යවරුන් එම අසාධාරණ බදු ක්‍රමයට එරෙහිව පසුගිය මාර්තු මාසයේදී ආරම්භ කළ වෘත්තීය අරගලය අවස්ථාවේදී බදු අය කිරීමේ දී යම් සහනයක් දෙන බවට රජයේ නියෝජිතයන් ලබාදුන් පොරොන්දුව මත එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවූවද, එදා සිට මේ දක්වා කිසිවකුත් අදාළ ප්‍රශ්නයට විසඳුමක් ලබා දී නැතැයිද පැවසීය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පේරාදෙණිය ශාඛාවේ සභාපති ආචාර්ය රුචික ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් මෙහිදී පවසා සිටියේ උද්ධමනය ඉහළ යෑම සැලකිල්ලට ගෙන විශ්වවිද්‍යාලවලට මුදල් වෙන් කිරීමේදී 2019 වසරට සාපේක්ෂව මේ වසරේදී තුන් ගුණයකින් මුදල් වෙන් කළ යුතුව තිබුණත් එම මුදල් තවත් කපා හර්මින් විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම ඉහළ දමා ඇති බවයි.
මෙරට විශ්වවිද්‍යාලවලට 2019 වසරේ දී සිසුන් 107000ක් වූ ශිෂ්යබඳවා ගැනීම් අගය 2021 වන විට 134000ක් දක්වා වැඩි කර තිබෙන නමුත් ඊට සරිලන මුදල් වෙන් කිරීමට හෝ ආචාර්යවරුන් බඳවා ගැනීමට වැඩපිළිවෙළක් නොමැති බවද පැවසීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2023 ජූලි මාසය වන විට සිසුන් 15,000ක් අධ්‍යාපනය ලබමින් සිටි බවත්, මෙම සිසුන් සංඛ්‍යාවට ගැළපෙන ලෙස ආචාර්යවරු 1400ක් සිටිය යුතු වුවත්, දැනට සිටින්නේ 800ක් පමණක් බවත් කී සභාපතිවරයා මෙම තත්ත්වය නිසා ඉදිරියේදී පේරදෙණිය විශ්වවිද්‍යාලය ලෝක ශ්‍රේණිගත කිම්වලින් පහළට ඇදවැටීමේ අවදානමක් ඇතැයි ද පැවසීය. පේරදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මාවනදේවී ගනහේනගේ, කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය රෝහිත ප්‍රශාන්ත, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් අභයකෝන් යන මහත්මා මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.
ෂේන් සෙනෙවිරත්න
0 Comments