With-the-Upasaka-Veda-chanting-the-atmosphere-spread-throughout-the-village

මහත් සීලාචාරකමක් ගමට පෙන්වමින් ජීවත් වූ වෙද මහත්මයකු හොර රහසේ තහනම් ගසක ගෙඩි කෑමට ගොස් මුහුණ පෑමට සිදුවූ අනපේක්ෂිත අකරතැබ්බයක් පිළිබදව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. සුන්දරත්වය සපිරි ගැමි පරිසරයක ලක්ෂණ අඩුවක් නොමැති ගම්බද මෙම ප්‍රදේශයට නගරයේ ජීවත්  වූවා යැයි කියන පවුලක් වසරකට පමණ පෙර පදිංචියට පැමිණයේය. පවුලේ සැමියා සිහින් සිරුරකට උරුමකම් කියන ඔතෑනි පුද්ගලයකු වන අතර බිරිඳ රුවැත්තියක මෙන්ම තරමක් කටකාර තැනැත්තියකි. එම කාන්තාව ප්‍රමාණය ඉක්මවා කථාකරන තැනැත්තියක වීම නිසා ඇය ගමේ ජනතාව අතර ප්‍රසිද්ධ චරිතයක්ද වූවාය.

කාන්තාව දිනපතා දරුවන් දෙදෙනා පාසල් රැගෙන යාම සිදු කළ බස් නැවතුම අසල සිංහල බෙහෙත් බඩු වෙළෙඳ සලක් ඇති අතර ඇය නිතර නිතර එම වෙළෙඳසලට යාම පුරුද්දක් කරගත්තාය. වෙළෙද සැලේ වාසය කරනු ලබන්නේ ද වෙද මහත්තයා පමණක් වන අතර රසබස් කථාකරමින් සිනාපාමින් ගොඩනැගුණ හිතවත්කම අනියම් ඇසුරකට පෙරළී තිබේ.

කාලය ගතවෙද් දී කාන්තාවන්ට දැඩි ඇළුම්කමක් දැක් වූ වෙද මහත්තයා සැමියා නොමැති අවස්ථාවල කාන්තාවගේ නිවසට යාම ඒම සාමාන්‍ය සිරිතක් බවට පත්කර ගත්තේය. ළමයින් පාසල් ගිය පසු දිනක් වෙදමහත්තයා කාන්තාවගේ නිවසට කැළෑබද මාර්ගයෙන් පැමිණියේය. දෙදෙනා අනියම් පෙම්සුව විඳිමින් සිටින අවස්ථාවේදී කඨින පිංකමට ආධාර එකතු කිරීමට ගමේ තරුණයන් පිරිසක් එම නිවසට පැමිණ ඇති අතර කිසිවකු පෙනෙන්ට නොසිටීම නිසා නිවසේ සිටින්නේ කවුදැයි ඔවුන් ප්‍රශ්න කර තිබේ.

කාන්තාව නිවසේ ජනේලයෙන් එබී බලන විට එළියේ සිටි පිරිස දැකීමෙන් කලබලයට පත්වූවාය. නිවසේ සිටි වෙද මහත්තයා තරුණයින් පැමිණ ඇත්තේ තමන් අල්ලා ගැනීමට යැයි බියවී නිවසේ තිබු සරමක්  ද පොරවාගෙන කාන්තාව ද ඉවතට තල්ලු කරමින්  දිව ගියේය.ඔහුගේ පලායාම තරුණයන්ට තේරුණ අතර එක් අයෙකු පැනයන කෙනා පසුපස දිනගොස් තිබුණි.



කැලෑබද මාර්ගයෙන් දිව යද්දී වෙද මහත්තයා සරම පැටලී ඇද වැටුනේය.  වැටුණ වෙදමහතාට නැගිටින්නට තරුණයින් උදව් කර තිබුණි. තරුණයෝ පිරිස සිදු වූයේ කුමක්දැයි සිතාගත නොහැකිව කල්පනා කළහ. සරම පැටලී ඇද වැටීමෙන් වෙද මහත්තයාගේ කකුල බිඳී සති කිහිපයක් එක්තැන්ව සිටියේය. ළිඳ ළඟ වැටි කකුල පෙරළුණා යැයි වෙද මහත්තයාගේ සුව දුක් විමසීමට පැමිණෙන අයට පවසමින් ඔහු සිද්ධිය වසන් කර ගැනීමට කොතකුත් උත්සාහ කළද තරුණයන් පිරිසගෙන් සිද්ධිය පිළිබද කතාව ගම පුරා පැතිර ගියේය. ඇද වැටුණු ළිඳ පිළිබඳව ගමේ තරුණයන් විමසන විට වෙද මහත්තයා ලුණු ඇඹුල් ඇතිව තරුණයන්ට පිළිතුරු දෙන බවද සැලය.