afganisthan-defeat

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සමගින් පැවති තරගයේදී ජයග්‍රහණය සම්පූර්ණ කරගත යුතු ආකාරය සම්බන්ධයෙන් තමන්ව නිසියාකාරව දැනුම්වත්කර නොතිබීම සිය පරාජයට මෙන්ම සුපිරි සිවුදෙනාගේ වටයට සුදුසුකම් නොලැබීමට හේතුවූ බව ඇෆ්ගනිස්තාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් පවසයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම පැහැදිලි කර ඇත්තේ, ඉලක්කය සම්පූර්ණ කිරීමට අවශ්‍ය උපරිම පන්දුවාර ප්‍රමාණය නොදැන සිටීම මීට හේතු වූ බවයි.

පෙරේදා (06දා) පැවති තරගයෙන් ඇෆ්ගනිස්තානයට සුපිරි සිවුදෙනාගේ වටයට පිවිසීමට නම්, ශ්‍රී ලංකාවෙන් ලැබුණු ලකුණු 292ක ඉලක්කය පන්දුවාර 37.1කදී සපුරාගත යුතුව තිබුණි. ඒ ශ්‍රී ලංකාවේ දළ ලකුණු ලබාගැනීමේ වේගය පසුකිරීමටයි. නමුත් අදාළ වේගයට ළඟාවීමට ඇෆ්ගනිස්තානයට 38වැනි පන්දුවාරය දක්වාම අවස්ථාව තිබූ බව බොහෝදෙනෙකු නොදැන සිටි කරුණකි.



ශ්‍රී ලංකාව පරාජය කිරීමට අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය 292ක් වුවත්, ලකුණු 291ක් රැස්කර සම කිරීමෙන් අනතුරුව හයේ පහරක් එල්ල කළද, ඇෆ්ගනිස්තානයට ජයග්‍රහණය වාර්තා කිරීමේ හැකියාව තිබිණ. එසේ වූවානම් ශ්‍රී ලංකාවේ දළ ලකුණු වේගය අබිබවා යාමට 38වැනි පන්දුවාරයේ පළමු පන්දුව දක්වාම ඇෆ්ගනිස්තානයට හැකියාවක් තිබිණ.

එසේ නැතහොත් පන්දුවාර 38කදී ලකුණු 296ක්, 37.5කදී ලකුණු 295ක්, 37.3කදී ලකුණු 294ක් හා 37.2කදී ලකුණු 293ක් ඔවුන් රැස්කර තිබුණේ නම් ශ්‍රී ලංකාව අබිබවා සුපිරි සිවුදෙනාගේ වටයට යාමට ඇෆ්ගනිස්තානයට අවස්ථාව තිබිණ.

ශ්‍රී ලංකාව සමගින් පැවති තරගයේ 37වැනි පන්දුවාරය සම්පූර්ණ වනවිට ඇෆ්ගනිස්තානය කඩුලු 8කට ලකුණු 289ක් රැස් කරගෙන සිටියහ. ඇෆ්ගනිස්තාන ඉනිමේ වේගවත් පිතිහරඹයේ යෙදුණ රෂීඩ් ඛාන් එහිදී පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ලේ රැඳී සිටියේ පන්දු 16කදී ලකුණු 27ක් රැස් කරමිනි. ඔහු 36වැනි පන්දුවාරයේ අවසන් පන්දුවටද හතරේ පහරක් එල්ල කර තිබිණ. නමුත් 37වැනි පන්දුවාරයේ තරගය කණපිට පෙරළුණු අතර, පිතිකරණ අන්තයේ රැඳී සිටි පිතිකරුවා වූ මුජීබ් උර් රහ්මාන් අනවශ්‍ය කලබලයකට ලක්වෙමින් ධනංජයගේ පන්දුවකට සධීර සමරවික්‍රම අතට උඩපන්දුවක් ලබා දුන්නේය.



ඒ අනුව ඇෆ්ගනිස්තානයට සිය බලාපොරොත්තු අතහැර ගැනීමට සිදු වූ අතර, අනතුරුව පැමිණි ඇෆ්ගනිස්තාන ඉනිමේ අවසන් පිතිකරුවා වූ ෆසල්හක් ෆරූකි පන්දු තුනක් තුළ දවාගැනීමට ධනංජය සමත් වූයේ ලකුණු 02ක තියුණු ජයක් ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි.

මෙහිදී ඇෆ්ගනිස්තාන පුහුණුකරු ට්‍රොට් පවසන්නේ ඇෆ්ගනිස්තානයට සුපිරි සිවුදෙනාගේ වටයට යාමට පන්දුවාර 37.1කදී සපුරාගත යුතු ලකුණු 292ක ඉලක්කය මග හැරී ගියද, තවත් පන්දු 06කදී එය සපුරාගැනීමට අවස්ථා කිහිපයක් තිබුණු බව තමන්ට නොදැන් වූ බවයි.

යම් හෙයකින් මුජීබ් 37වැනි පන්දුවාරයේ පළමු පන්දුවට එක් ලකුණක් කරා පැති මාරු කරගෙන පන්දුවට පහරදීමේ අවස්ථාව රෂීඩ් ඛාන්ට ලබාදුන්නා නම්, තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබිණ.

නමුත් මෙය එක් හේතුවක් පමණක් බවත්, ආසියානු කුසලානයේ අසාර්ථකත්වයට හේතු රාශියක් තිබූ බව ට්‍රොට් මෙහිදී පැහැදිලි කළේය. තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩාකළ පළමු තරගයෙන්ද ඇෆ්ගනිස්තානයට ලකුණු 89ක පරාජයක් උරුම විය.

ඔෂිත වරකපිටිය