වෙඩික්කරුවන් දෙදෙනෙකුට ගාස්තුව ලෙස ගංජා ග්‍රෑම් 500 බැගින් පමණක් ලබාදී මීට මාස හතරකට පෙර පදවිය 6 කණුව මහසෙන්පුර ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු සහ සැකකාරියක් පෙරේදා අත් අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක බාලසූරිය මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් සහ පදවිය පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පක්ෂක විජය කුමාරසිරි මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් (24දා) රාත්‍රියේ ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී වැලිඔය ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ සඳහා යොදාගත් යතුරුපැදි තුනක්ද සමගය.
පදවි මහසෙන්පුර 6 කණුව ප්‍රදේශයේදී ව්‍යාපාරික ආර්. චිරන්ත රසික විජේවර්ධනට ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තබා මරා දැමුවේ 2023 මැයි මස 16වන දින ය.
මෙම ඝාතනයේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතාගේ නියෝගයකට අනුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පවරනු ලැබීය.
ඒ අනුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ පදවිය පොලීසිය ඒකාබද්ධව මාස හතරක කාලයක් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති මෙම සියලු සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවන් බව දැනට සිදු කර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
ඩුබායිහි වෙසෙන ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වැලිඔය ආමි ප්‍රියන්ත නමැත්තා විසින් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව මෙහෙයවා ඇති බව පවසන පොලීසිය ව්‍යාපාරිකයා ඝාතනය කළ වෙඩික්කරුවන් දෙදෙනාට වැලිඔය ආමි ප්‍රියන්ත විසින් ගංජා ග්‍රෑම් 500 බැගින් පමණක් ලබාදී ඇති බවත්, ඊට අමතරව කිසිදු මුදලක් ලබාදී නැති බවත් පවසයි.
තවත් මනුෂ්‍ය ඝාතන කොන්ත්‍රාත්තුවක් ලබාදීමට ඇති බවත්, එම ඝාතනය සිදු කළ පසු මුදල් ලබාදෙන බවත්, වැලිඔය ආමි ප්‍රියන්ත විසින් වෙඩික්කරුවන්ට පොරොන්දු වී ඇති බව පවසන පොලීසිය පදවිය මහසෙන්පුරදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බව කියයි.
මෙම සැකකරුවන් තවත් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැලසුම් සකසා ඇති බවද, ඒ සඳහා අවශ්‍ය යතුරුපැදියක් අකුරැස්ස ප්‍රදේශයේ සිට වැලිඔය ප්‍රදේශයට ගෙන්වා සඟවා කිබියදී සොයාගත් බවද පොලීසිය කියයි. ව්‍යාපාරිකයාට වෙඩි තබා ඇත්තේ යුද හමුදාවෙන් පලා ගිය සෙබළෙකු බවත්, ඔහුද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බවත් ප්‍රකාශ කරන පොලීසිය ඊට අමතරව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිවිල් ආරක්ෂක බළකායේ හිටපු සෙබළෙකුද සිටින බව කියයි.
ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරුවන්ට පදවිය පරාක්රමපුර ප්‍රදේශයේ හෝටලයක නවාතැන් පහසුකම් සපයා ඒ සඳහා මුදල් ගෙවා ඇත්තේ දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකාරිය විසින් බවත්, ඇය ඩුබායිහි වෙසෙන වැලිඔය ආමි ප්‍රියන්තගේ බිරිඳ බවත් පොලීසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇති සියලු සැකකරුවන් පදවිය වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද සහ උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වේ.
අනුරාධපුර -උපාලි ආනන්ද/ බී.ජී. චතුරංග
0 Comments