මහවැලි සී කලාපයට අයත් සිරිපුර රන්කෙත්ගම ප්රදේශයේ ගෙවත්තක නිවසක් පිටුපස මිය ගිය අලියකුගේ කොටස් වළදමමින් සිටි පුද්ගලයකු පෙරේදා (24 වැනිදා) සවස සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. රන්කෙත්ගම ගමේ ගෙවත්තක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනකට පැටලුනු අලියකු පසුගිය සෙනසුරාදා (23වැනිදා) රාත්රියේ මියගොස් සිට ඇත.
මියගිය අලියා දුටු ගෙහිමියා එම අලි මරණය වසන් කිරීමට උත්සාහ ගෙන ඇත. පළමු අවස්ථාවේදී සිරුර ගිනි දමා විනාශ කිරීමට උත්සාහ ගැනීමේදී එය අසාර්ථකවීමෙන් පසුව මියගිය අලියාගේ ශරීර කොටස් ස්වයංක්රීය කියතකින් කපා කොටස් කර වළ දැමීමට කටයුතු කරමින් සිට ඇත.
ගෙවත්තේ නිවසට යාබද වළක් හාරා ඒ තුළට පාද කොටස් දමා ඉතිරි කොටස් දමමින් සිටි අතරතුර විශ්වාස කටයුතු පුද්ගලයකුගෙන් ලද තොරතුරකට අනුව වහාම එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී ඇත.
සැකකරු පොලිසිය හමුවේ කරන ලද පාපොච්චාරණයකට අනුව මෙසේ මිය ගිය අලියාගේ සිරුරු කොටස් කිසිවකුට නොපෙනීම සඳහා වළදැමීමට උත්සාහ කළ බව පවසා ඇත. සැකකරු ඊයේ (25 වැනිදා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සිරිපුර පොලිසියේ උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
බණ්ඩාර මුදියන්සේ-පොළොන්නරුව
0 Comments