aragala-piano-man-police

අරගල සමයේ කොටුව ජනාධිපති මන්දිරයේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටිය දී අරගලකරුවන් සමග එක්ව එහි පියානෝවක් වාදනය කළ පොලිස් කොස්තාපල්වරයකු සිද්ධියෙන් වසරකට පසුව පොලිස්පතිවරයාගේ නියමයෙන් වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනය ඒකකය විසින් විමර්ශනයක් කර විනය පරීක්ෂණයක් ද පවත්වා වැඩ තහනම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ පුත්තලම සාලියවැව පොලිස් ස්ථානයට අනුයුක්තව කොස්තාපල් රියැදුරකු වශයෙන් රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙකි.



ඉකුත් අරගල සමයේ අරගලකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් පසු සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ 2022 වසරේ ජූලි මස 08 දින මෙම කොස්තාපල්වරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් විශේෂ රාජකාරි සඳහා කොළඹට අනුයුක්ත කර සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම කොස්තාපල්වරයා රාජකාරි අතරතුර පොලිස් නිල ඇඳුමෙන් මන්දිරය වෙත පැමිණ එහි පියානෝවක් වාදනය කර ඇති අතර ඒ සිදුවීම එවකට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වී තිබිණි. මෙම  සිද්ධිය  සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර ඇත. පසුව, ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ද සිදුකර ඇත.
ඉන්දිකා රාමනායක