arrack-company-issue

සුරාබදු ගෙවීම් පැහැර හැරී මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් 7ක බලපත්‍ර ඔක්තෝබරි මස 30 වැනි දින සිට අහෝසි කරන්නැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව සුරාබදු දෙපාර්මේන්තුව පෙරේදා (20) නියෝග කළේය.එම මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර ආරක්ෂා කර ගැනීමට නම් ඔක්තෝබර් මස 15 වැනි දිනට පෙර බදු ගෙවීමෙ සැලසුම් ඉදිරිපත් කළ යුතු බවද එම කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.මේ අතර රුපියල් කෝටි 150ක මහා පරිමාණ බදු වංචා කර ඇති මත්පැන් නිෂ්පාදිත සමාගම් දෙකක් ආගිය අතක් නැතැයිද එම කාරක සභාවේදී සුරාබදු නිලධාරීහු පැවසූහ.



ව්‍යාජ ආරක්ෂක ස්ටිකර් සම්බන්ධ වංචා මැඩලීමට නම් මත්පැන් නිෂ්පාදකයන් සඳහා පොදු ඩිජිටල් ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වාදිය යුතු බවද ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා එහිදී පැවසීය.යෝජිත නව ආරක්ෂක ස්ටිකරය මගින් පාරිභෝගිකයාට කිව්.ආර්. කේතය හරහා අදාළ නිෂ්පාදනය සත්‍ය හෝ ව්‍යාජ වන්නේද යන්න පිළිබඳ අවබෝධකර ගැනීමේ හැකියාව සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු ඍජු බදු ප්‍රමාණය දැන ගැනීමේ හැකියාව සහ එක් එක් නිෂ්පාදනය සඳහා අයවිය යුතු බදු මුදල ලබාගැනීමේ හැකියාව යන කරුණු සම්පූර්ණ විය යුතු බවද සභාපතිවරයා කීය.



එම කාරක සභාවේදී සුරාබදු නිලධාරීන් සඳහන් කළේ ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සම්බන්ධ වැටලීම් දිගින් දිගටම සිදුකරගෙන යන බවත් වැටලීම් වලින් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ස්ටිකර් හමු වූ බවත්ය.එහිදී සභාපතිවරයා සඳහන් කළේ සිල්ලරට මත්පැන් අලෙවි කරන ආයතන ව්‍යාජ ස්ටිකර් යෙදූ බෝතල් ඉවත් කළාද නැද්ද යන්න සම්බන්ධව වාර්තාවක් අවශ්‍ය බවය.දිගින් දිගටම අදාළ වැටලීම් සිදුකළ යුතු බවත් දඩ ගැසූ දින සිට මින් ඉදිරියට ව්‍යාජ ස්ටිකර් සහිත බෝතල් නිෂ්පාදනය කරන ආයතනවල බලපත්‍ර අහෝසි කළ යුතු බවත් එහිදී සභාපතිවරයා පැවසීය.සුරාදඩ සම්බන්ධ වාර්තාවක් ලබාදෙන ලෙසත් ව්‍යාජ ස්ටිකර්වලින් අහිමි වූ ආදායම් ගණනය කර කමිටුවට වාර්තාවක් ලබාදිය යුතුබවත් සභාපතිවරයා කීය.
 රංජන් කස්තුරි