කෝවිඩ් වසංගතය මුළු ලොවම වෙළා ගනිමින්, ලෝකයටම විශාල බලපෑමක් ඇති කළ අතර, ඉතාම අපහසුවෙන් එම තත්ත්වයෙන් මිදී මේ වන විට යම් තරමක සාමාන්‍ය තත්ත්වයකට ලොව පත්වෙමින් තිබේ. ඒ අතරතුර එහි උණුසුම යෑමට මත්තෙන් මේ වන විට අසල්වැසි ඉන්දියාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින 'නිපා’ නමැති වෛරසය පිළිබඳව මෙරට ජනතාවගේ දැඩි අවධානයක් යොමු වී තිබේ. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කෝලිකෝඩ් දිස්ත්‍රික්කයේ, මීට දින කිහිපයකට පෙර නිපා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා හඳුනාගත් අතර, මේ වන විට එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් සයදෙනෙකු හමුවී ඇත. ඒ පිළිබඳව මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇති අතර, තවමත් මෙම වෛරසයේ බලපෑම අපට උදාවී නොමැත. නමුත් මේ පිළිබඳව අවධානයෙන් සිටීම වඩාත් වැදගත්ත්වේ.
'නිපා' නිසා රට ලොක්ඩවුන් කරන්න අදහසක් නෑ
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙම නිපා වෛරසය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමක් සිදුකළ අතර මේ එහිදී ඔහු දැක්වූ අදහස්ය. -
"නිපා’ වෛරසයෙන් මෙරටට බලපෑමක් නැහැ. ඒ නිසා අනියත බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ අගෝස්තු මාසයේ අග සිට 'නිපා' වෛරසය ආසාදනයක් ලෙස පැතිරෙමින් තිබෙනවා. මේ පිළිබඳව මාධ්‍ය මගින් දින කිහිපයක් පුරා විවිධ අදහස් පළ කළා. මීට පෙර බංග්ලාදේශයේත් මෙය වසංගතයක් ලෙස පැතිර ගියා. මෙය නව වෛරසයක් නෙවෙයි. තවමත් මෙරටින් මෙම වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වෙලා නැහැ. මෙම තත්ත්වය පිළිබඳව කෝවිඩ් වසංගතය වගේ බිය විය යුතු නැහැ. ඒ වගේම රට ලොක්ඩවුන් කරන්න, වෙළෙඳ සැල්, ගුවන් මගීන් පරීක්ෂා කිරීම වැනි ක්‍රියාවන් සිදුකරන්නත් කිසිම අදහසක් නැහැ.”
ආසාදිත පුද්ගලයෙකුගෙනුත් එය පැතිරීම සිදුවන්නේ ඉතාමත් ළඟින් ඇසුරු කරන අයෙකුට පමණයි
මේ පිළිබදව අදහස් දැක් වූ වසංගත රෝග විද්‍යාන අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා -
"මෙය අලුත් වෛරස් ආසාදනයක් නෙවෙයි. මුලින්ම 1998 මැලේසියාවෙන් ලොකුම වසංගත තත්ත්වය වාර්තා වෙනවා. එය රෝගීන් 300කට පමණ සීමා වෙනවා. පසුව සිංගප්පූරුවෙන් රෝගීන් 11ක් පමණ වාර්තා වෙනවා. කාලීනව අවශ්‍ය පියවර ගැනීම තුළින්, වෛරසය හටගත් රටේම රෝගය පැතිරීම පාලනය කරලා තිබෙනවා. වෙන රටවලට පැතිරීමක් සිදුවෙලා නැහැ. 2001/2018 වසරවල වරින් වර බංග්ලාදේශයෙන් සුළු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. 2001/2007 බටහිර බෙංගාලයෙනුත් රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. හැම අවස්ථාවකම එම රටවල් තුළ වෛරසය පැතිරෙන්නේ නැතිව සාර්ථකව පාලනය කර තිබෙනවා.
දැනට රෝගය පවතින කේරළ ප්‍රදේශයේ 2018/2023 අතර කාලසීමාවේ අවස්ථා 04කදී මෙම වෛරස් තත්ත්වය සුළු වශයෙන් ඇතිවෙලා තිබෙනවා. එයත් කාලීන ක්‍රම තුළින් පාලනය කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. වර්තමාන තත්ත්වය ගත්තාම ඉන්දියාවේ කේරළයෙන් දැනට රෝගීන් 06ක් වාර්තා වෙලා තිඛෙනවා. මරණ 02ක් සිදුවෙලා තිබෙනවා. ආරක්ෂිත පියවරක් ලෙස එම ප්‍රදේශයේ යම් යම් සීමාවන් පනවා තිබෙනවා. ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නියැදි පරීක්ෂණ සදහා ලක් කර තිබෙනවා. ඔවුන් තවමත් ආසාදිතයන් වෙලා නැහැ. වෙනත් ප්‍රදේශවලට පැතිරීම පාලනය සදහා ආරක්ෂිත වැඩපිළිවෙළක් ලෙසයි ඔවුන්ව පරීක්ෂා කරන්නේ. ලොක්ඩවුන් තත්ත්වයක් ඇතිවෙලා නැහැ. මේ පිළිබඳව අනියත බියක් සාමාජ ජාලවල ඇතිකර තිබෙනවා. දැනට තිබෙන තත්ත්වය අනුව එවැනි තත්ත්වයක් ඇතිවෙයි කියලා නියැදි නැහැ.
මෙහි වාහකයා වවුල් ප්‍රභේදයක්. වවුලන්ගේ මළ මුත්‍රා හරහා ආසාදිත වෛරස තැවරීමෙන් මෙම රෝගය පැතිරීම සිදුවෙනවා. සතුන් අනුභව කර ඇති පලතුරු වැනි දෑ ආහාරයට ගැනීමෙන් මහජනතාවට මෙම වෛරසය ව්‍යාප්ත වන බව දැනට සොයාගෙන තිබෙනවා. ආසාදිත පුද්ගලයෙකුගෙනුත් එය පැතිරීම සිදුවන්නේ ඉතාමත් ළඟින් ඇසුරු කරන අයෙකුට පමණයි. ඒ කෙළ බිඳිති මගින්. මෙය වාතය හරහා බෝ වෙන වෛරසයක් නෙවෙයි. පැතිරීම අඩු වේගයකින් තමයි සිදුවෙන්නේ. රෝගය වැලදී ඉතා කෙටි කාලයකක් තුළ සුව විය හැකියි. රෝග ලක්ෂණ මතු නොවන පිරිසකුත් සිටිනවා. ස්වසන අපහසුතා ඇති විය හැකියි. මූලිකවම මොළයේ ආසාදන තත්ත්වයක් තමයි ඇතිවෙන්නේ, ඉතා කෙටි කාලයක් තුළ එම පුද්ගලයාගේ රෝගී තත්ත්වය උග්‍ර අතට හැරෙනවා. පැතිරීමට ඇති ඉඩකඩ ඒ තුළිනුත් සීමා වෙලා තිබෙනවා. මොකද රටකින් තවත් රටකට යාමට ආසාදිතයාට කාලයක් නැහැ.
සමස්තයක් ලෙස ගත් විට මෙය ගෝලීය වශයෙන් ඇති විය හැකි වසංගත තත්ත්වයක් නෙවෙයි. අනෙක් රටවලට පැතිරීමට ඇති ඉඩකඩ සාපේක්ෂව ඉතාමත් අඩුයි. අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව ඉතාමත් අවධානයෙන් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවශ්‍ය තොරතුරු ලබාදෙනවා. තවම රටට අවදානම් සහගත තත්ත්වයක් නැහැ.”
වෛරසය මනුස්සයකුගේ ඇගේ තියෙන්නේ බොහෝම අඩු ප්‍රමාණයක්
වෛරසය පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසවේදී අංශයේ විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය. -
"මෙම වෛරසය වවුලන් තුළ තමයි ගුණනය වෙන්නේ. වවුලන් තමයි මේක තියාගෙන ඉන්නේ. වවුලන්ගේ ශ්‍රාවයන් එක්ක මේක එළියට එනවා. වවුලන් පලතුරු කනවා, රෑට රා මුට්ටිවලට ඇවිත් ඒවා බොන්න හදනවා. එතකොට ඒ ශ්‍රාවයන් රා මුට්ටිවල තියෙන්න පුළුවන්. තව පලතුරුවල ඒ වවුලන්ගේ ශ්‍රාවයන් තියෙන්න පුළුවන්. ආසාදිත වවුලන්ගේ ඒ ශ්‍රාවයන් තියෙන පලතුරක් මිනිසෙක් කෑවොත් ඒ වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදිත තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. තව ඌරන්ටත් වවුලන්ගෙන් එන මේ ශ්‍රාවයන් මිශ්‍ර වුණොත් ඌරන්ටත් මේ ආසාදනය ඇතිවෙන්න පුළුවන්, ඌරන්ගෙන් නැවත වාරයක් මේ ශ්‍රාවයන් එළියට එන්න පුළුවන්, ශ්‍රාවයන් එක්ක වෛරසයත් එළියට එන්න පුළුවන්. එවිට අපි ඌරන්ගෙනුත් ප්‍රවේශම් වෙන්න ඕන. ඒ වගේම වවුලන් දෂ්ඨි කරපු කෑම කෑමෙන් වළකින්න ඕන. හැබැයි දැනට ලංකාවේ නැති නිසා අපි ඒ ගැන දැඩි බියක් ඇති කරගත්ත ඕන නැහැ. මම පැවසුවේ මේ රෝගය ඇතිවෙන විදිහ. එතැනින් තමයි මිනිසුන්ට එන්නේ. මිනිස්සුන්ට ආවට පස්සේ ඔවුන්ගෙන් බෝ වෙන්න පුළුවන්. වෛරසය මනුස්සයකුගේ ඇගේ තියෙන්නේ බොහෝම අඩු ප්‍රමාණයක්. රෝගී තත්ත්වය උත්සන්න කෙනෙක් ළඟට ගියොත් තමයි නැවත මනුස්සයෙකුට ඒක බෝ වෙන්න පුළුවන් වෙන්නේ.
පලතුරු හොඳින් සෝදා ආහාරයට ගන්න ඕනෑ. දැනට ලංකාවේ රෝගීන් වාර්තා නොවන නිසා බිය විය යුතු නැහැ. ලෙඩ ඌරන් සහ වවුලුන් ගැවසෙන ප්‍රදේශවලට යාමෙන් වළකින්න ඕනෑ, මේක බෝ වෙන්නේ විශේෂ වවුල් විශේෂයකින්. ෆෘට් බැට් කියල තමයි ඒ වවුල් විශේෂයට කියන්නේ. ලංකාවේ ඉන්න වවුලන් ෆෘට් බැට්ලද කියලා අපි තාම අනුමාන කරට නැහැ. ඒක නිසා අපිට ඒක ගැන ලොක බියක් ඇතිකරගන්න අවශ්‍ය නැහැ. අපි මුලින්ම කරන්න ඕන මේක රටට ඒම වළක්වා ගැනීමයි. පොඩි දරුවන්ට පලතුරු දෙන විට හොඳින් සෝදා දෙන්නත්, පළුදු වූ පලතුරු දරුවන්ට දීමෙන් වළකින ලෙසත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.”
-පියුමිකා වීරසූරිය
0 Comments