asian-games-china

19වැනි ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ හංජොහිදී හෙට (23දා) ආරම්භ වන අතර, පුරා දින 16ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන මෙය ඔක්තෝබර් 08වැනිදා අවසන් වේ. ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ පුරෝකථනයන්ට අනුව ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවැත්වෙන අතිඋත්කර්ෂවත්ම ක්‍රීඩා සැණකෙළිය මෙය වනු ඇත.

චීනය ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරක රට ලෙස කටයුතු කරන තෙවැනි අවස්ථාව මෙයයි. ඔවුන් මීට පෙර 1990 හා 2010 වර්ෂයන්හිදීද ( සත්කාරකත්වය දරා ඇත.

ශ්‍රී ලංකාවෙන් සියයකට ආසන්න කණ්ඩායමක් ඔලිම්පික් උළෙලට පසුව ලොව වැඩිම ක්‍රීඩා ඉසව් සංඛ්‍යාවක් පැවැත්වෙන ක්‍රීඩා උළෙල වන මෙහි, ක්‍රීඩා 40ක් යටතේ තරග ඉසව් 482ක් මෙවර පැවැත්වේ. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතව ඇත. ඔවුහු ක්‍රීඩා 21ක් වෙනුවෙන් තරග බිමට පිවිසෙති.

කෙසේ නමුත් අවසන් වරට 2018 වසරේ ඉන්දුනීසියාවේදී පැවති ක්‍රීඩා උළෙලට සාපේක්‍ෂව මෙවර සහභාගිත්වයේ කැපීපෙනෙන අඩුවීමක් දක්නට ලැබේ. එවර ක්‍රීඩා 30ක් යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 176ක් සහභාගි වූහ.

ශ්‍රී ලංකාව සමගින් ආසියානු කලාපයේ රටවල් 45ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 12,500කට අධික සංඛ්‍යාවක් මීට සහභාගි වීමට නියමිත අතර,

ඒ අනුව අවසන් වරට ජපානයේ පැවැති ‘ටොකියෝ 2020’ ඔලිම්පික් උළෙලට වඩා වැඩි සංඛ්‍යාවක් චීනයට පැමිණීමට නියමිතව ඇත.

වත්මන් චීනයේ ශීඝ්‍රයෙන්ම සංවර්ධනය වෙමින් පවතින නගරයක් වන හංජෝ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව චීන බලධාරීන් විසින් 'හංජෝ' ක්‍රීඩා උළෙලේ සත්කාරක නගරය ලෙස තෝරාගෙන තිබේ.

චීන අගනගරය වන බීජිං සිට කි.මී. 1,277.9ක දුරින් පිහිටි හංජෝහි මිලියන 12ක ජනතාවක් ජීවත්වන, වත්මන් චීන තාක්‍ෂණික කර්මාන්තයේ නිල නොවන නිවහන ලෙසින් මෙම නගරය පිළිගැනෙයි. ව්ශේෂයෙන් ලෝ ප්‍රකට 'Alibaba Group' සමූහයේ හිමිකරු වන ජැක් මා උපන් නගරය වන්නේද හංජෝය.

ක්‍රීඩා උළෙලේ සියලු තරග ස්ථාන 54කදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඉන් ප්‍රධානතම ක්‍රීඩා සංකීර්ණය 'හංජෝ ඔලිම්පික්’ ක්‍රීඩාංගණයයි. ප්‍රේක්‍ෂකයන් 80,000කට අසුන් ගැන්විය හැකි මෙය, ‘බිග් ලෝටස්’ ලෙසින්ද හඳුන්වන අතර, සමාරම්භක සහ සමාප්ති උත්සවය මෙහි පැවැත්වීමට කටයුතු යොදා ඇත. විචිත්‍රවත් සමාරම්භක උත්සවයකින් ආරම්භ වන මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ෂී ජින් පින්ග් සහභාගි වීමට නියමිතව ඇත.

ආසියානු ක්‍රීඩා උළෙල අතීතයේ මෙන්ම මෙවරද ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු අතර ප්‍රධාන තැනක් මලල ක්‍රීඩාවට හිමිව තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව ඉහළින්ම පදක්කම් බලාපොරොත්තුවක් තබා සිටි කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මේ සඳහා සහභාගි නොවන බව මේ වනටත් තහවුරු කර ඇත.

වසර 72ක (1951 සිටා ක්‍රීඩා උළෙල ඉතිහාසයේ චීනය වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනා ඇති රට වන අතර, ඔවුන් 1982 වසරේ සිට මේ දක්වා සෑම ක්‍රීඩා උළෙලකදීම පදක්කම් සටහනේ පෙරමුණ ගෙන ඇත.

ඔවුන් මේ වනව්ට රන් 1,473ක් සමගින් සමස්ත පදක්කම් 3,187ක් දිනා සිටියි.

ජපානය එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේ, රන් 1,032ක් සමගින් සමස්ත පදක්කම් 3,054ක් දිනාගනිමිනි. එම රටවල් දෙක හැරෙන්න වෙනත් කිසිදු රටක් රන් පදක්කම් දහසේ සීමාව අබිබවා ගොස් නැත. ඊට අමතරව වැඩිම පදක්කම් දිනූ පළමු ස්ථාන පහ අතර දකුණු කොරියාව (745), ඉරානය (179) හා ඉන්දියාව (155) රැඳීසිටියි.

ක්‍රීඩා උළෙල ඉතිහාසය තුළ මේ දක්වා රටවල් 44ක් එකඳු පදක්කමක් හෝ දිනා ඇති අතර, එහි ශ්‍රී ලංකාව 25වැනි ස්ථානයේ රැඳී සිටිනුයේ, රන් 11ක් සමගින් සමස්ත පදක්කම් 41ක් දිනාගනිමිනි. ඊට රිදී 10ක් හා ලෝකඩ 20ක් ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකාව වැඩිම පදක්කම් දිනා ඇත්තේ, මලල ක්‍රීඩාවෙනි. ඊට රන් 10ක්, ඊදී 06ක් හා ලෝකඩ 11ක් ලෙස මුළු පදක්කම් 27ක් වෙයි. ඒ හැරෙන්නට ක්‍රිකට් ක්‍රීඩාවෙන් රන් හා ලෝකඩ පදක්කම බැගින් දිනා ඇත. ඊට අමතරව ගොල්ෆ්, බොක්සිං, ටෙනිස් හා ඔරු පැදීම යන ඉසව්වන්ගෙන් රිදී හා ලෝකඩ පදක්කමක්ද, පාපැදි හා කරාතේ ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම්ද දිනා ඇත.

මාලදිවයින, භූතානය ඇතුළු ජාත්‍යන්තර ඔලිම්පික් සංගමය යටතේ ක්‍රියාත්මක රටවල් 07කට මේ දක්වා ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ එකඳු පදක්කමක් හෝ දිනාගැනීමට හැකි වී නැත.

කෙසේ නමුත් ලංකාවට අවසන් වරට ඉන්දුනීසියාවේ පැවති ක්‍රීඩා උළෙලේදීද එකඳු පදක්කමක් හෝ දිනාගැනීමට නොහැකි විය.
 සංජිව ධර්මසේන