asian-games-cricket-china

චීනයේ හංජොහිදී හෙට (23) සිට පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන කාන්තා හා පිරිමි ක්‍රිකට් සංචිත 18දා නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ අතර, ඒ අනුව ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත කාන්තා කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා නිත්‍ය නායිකා චමරි අතපත්තු පත්කර ඇත. එමෙන්ම 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහන් ආරච්චිගේ විසින් මෙහෙයවනු ලබයි.

විස්සයි20 ආකෘතියෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි තරග මේ මස 27 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, රන්, රිදී හා ලෝකඩ පදක්කම් වෙනුවෙන් තරග ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වීමට සැලසුම්කර ඇත.



කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වෙන පිරිමි අංශයෙන් ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරග ආරම්භ කරයි.

ඒ අනුව ක්‍රීඩාකිරීමට සුදුසුකම් ලබා සිටින ඇෆ්ගනිස්තානය, මොංගෝලියාව, කාම්බෝජය, ජපානය, නේපාලය, හොංකොං, සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව, බහරේන් සහ මාලදිවයින යන කණ්ඩායම් මූලික වටයේදී ‘ඒ', 'බී', 'සී' හා 'ඩී' ලෙස කාණ්ඩ 04ක් යටතේ තරග කරයි. ඒ සෑම කාණ්ඩයකම පෙරමුණ ගන්නා කණ්ඩායම් 04 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

එමෙන්ම කාන්තා තරග අද (19දා) සිට එළඹෙන 25 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, කණ්ඩායම් 08ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අංශයෙන්ද ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය ඍජුවම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසේ.

ඒ හැරෙන්නට ඉන්දුනීසියාව, මොන්ගෝලියාව, හොංකොං හා මැලේසියාව මූලික වටයේ ක්‍රීඩාකර ඉන් කණ්ඩායම් 04ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

ක්‍රීඩා උළෙලේ සියලු ක්‍රිකට් තරග සීජියැන්හිදී පැවැත්වේ.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරනු ලැබුවේ 2010 වසරේ ගුවැංශු ක්‍රීඩා උළෙලේ සිට වන අතර, ඉන් පසු දකුණු කොරියාවේ පැවැති උළෙලට ඇතුළත් කළද, අවසන්වරට 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවැති ක්‍රීඩා උළෙලින් ඉවත් කෙරිණ. එහිදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම් 2014 රන් පදක්කමත්, 2010 වසරේ 04 වැනි ස්ථානයත් දිනාගෙන ඇත. කෙසේ නමුත් කාන්තා කණ්ඩායම ලබා ඇති ඉහළම ජයග්‍රහණය වන්නේ 2014 වසරේ ලෝකඩ පදක්කම දිනාගැනීමයි.

සංජිව ධර්මසේන