aththidiya-incident

අත්තිඩිය වනජීවී රැදවුම් මධ්‍යස්ථානයෙන් කළු වඳුරු පැටවුන් හතරදෙනකු පසුගිය (09) වන දින රාත්‍රියේ සොරාගත් බවට සැකකරන දෙදෙනකු ඉකුත්දා (19) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. ඔවුන් වත්තල, හැඳල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25- 30ත් අතර පසුවන්නන් බව පොලිසිය කියයි.

ඔවුන් 09 වන දින රාත්‍රියේ රැඳවුම් මධ්‍යස්ථානයට ඇතුළුවී එහි ආරක්ෂිත කූඩුවල රඳවා සිටි කළු වඳුරු පැටවුන් හතර දෙනා ගෝනිවල දමාගන එළියට පැමිණ ඇති අතර, ඒ වනවිටත් ජාවාරම්කාර ගැනුම්කරු කාර් රථයකින් දොරටුව අබියස රැඳී සිට තිබේ.



ඒ අවස්ථාවේදීම එක් පැටවකුට රුපියල් තිස් දහස බැගින් රුපියල් එක්ලක්‍ෂ විසි දහසක් ලබාදී පැටවුන් කාර් රථයෙන් රැගෙන ගිය බවත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ. එම ජාවාරම්කරු වත්තල, උස්වැටකෙයියාව පදිංචිකරුවකු වන බව ද, දැනට ප්‍රදේශය හැ පලාගොස් ඇති බව ද පොලිසිය පැවසීය. අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයෙන් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු සිදුකරන බවත්, ඒ අනුව මීට පෙරද අවස්ථා හතරකදී මෙලෙස වඳුරු පැටවුන් සොරාගන ගොස් ඇති බව හෙළිවී ඇති බවත් පොලිසිය කියයි. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් ප්‍රදේශය හැර පලාගිය ප්‍රධාන ජාවාරම්කරු හා සොරාගත් වඳුරු පැටවුන්ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරයි.
එච්.එම්. ධර්මපාල