athurugiriya-police-incident

රථවාහන පහළොවක් පමණ හප්පා පලා යමින් සිටි බව කියන ලොරි රථ රියදුරකු පසුපස හඹා පැමිණි පිරිසක් ඊයේ (03) රාත්‍රි එම රියදුරුට අතුරුගිරිය පොලිස් ස්ථානයේදී බිම පෙරළාගෙන පහරදීම හේතුවෙන් ඇතිවූ උණුසුම් තත්ත්වයක් අහසට වෙඩි තබා පාලනය කිරීමට කටයුතු කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි.රථවාහන හප්පා පලා ගිය රියදුරුද ඔහුට පහරදුන් පුද්ගලයකුද එම අවස්ථාවේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

දැඩි ලෙස බීමත්ව කුඩා ලොරි රථයක් පදවාගෙන පැමිණි පුද්ගලයකු දැඩිගමුව ප්‍රදේශයේ සිට කිලෝමීටර්  පහකට ආසන්න දුර ප්‍රමාණයක් රථවාහන පහළොවකට වැඩි සංඛ්‍යාවක් හප්පමින් අධික වේගයෙන් රථය පදවා තිබූ බව පොලිස් පරීක්‍ෂණවල දී තොරතුරු අනාවරණය වී ඇතැයි එම නිලධාරියා කීය.



පිරිසක් තමන් පසුපස හඹා පැමිණීම හේතුවෙන් කුඩා ලොරි රථයේ රියදුරු අධික වේගයෙන් පැමිණ අතුරුගිරිය පොලිස් ස්ථානයට රථය ඇතුළත් කළ අවස්ථාවේ දී පැමිණි විශාල පිරිසක් පොලිස් ස්ථානයේදී පොලිස් නිලධාරීන් ඉදිරියේදීම, එම රියදුරු බිම පෙරළාගෙන පහරදී ඇති‍ බවත් එම රියදුරුගේ ජීවිතය බේරා ගැනීම සඳහා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අහසට වෙඩි තබා පිරිස පාලනය කිරීමට කටයුතු කළ බවත් පොලිසිය පවසයි.පසුව අතුරුගිරිය පොලිස්ස්ථානාධිපතිවරයා පැමිණ ලොරි රථය පසුපස හඹා පැමිණී පිරිස සමග සාකච්ඡා කර තත්වය පාලනය කිරීමට කටයුතු කළේය.අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට අද (4) ඉදිරිපත් කිරීමට නියමිතය.

කේ. බුද්ධික කුමාරසිරි