bandula-speaks

දුම්රිය වර්ජනය හේතුවෙන් අද (12) පෙරවරුවේ මියගිය තරුණයා වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයක් පවත්වන්නට විෂය භාර ඇමති හා
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කළේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම මරණයට වර්ජනයේ නිරත සියලු වෘත්තීය සමිති වගකිව යුතු බවයි.


අද පෙරවරුවේ පැවති අධික තදබදය හේතුවෙන් මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයෙක්  ඇද වැටී මියයාම ගැන සඳහන් කළ ඔහු දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක්බවට අද රෑ 12 සිට පත්කරන්නට වහා පියවර ගන්නා බවත් ඒ තීරණය ගන්නා ලෙස ජනපතිවරයාට අද දන්වන බවත් කීය.

මෙය වර්ජනයක් නොව ත්‍රස්තවාදයක් බව බැණවදිමින් දන්වා සිටියේය.
හෙට සාකච්ඡාව තිබියදී වැඩවැරීම එතෙක් එපා කියා තිබියදීත් අද වැඩ වර්ජනය කළ බවත් වෘත්තීය සමිතිවල 84 දෙනෙකුගේ වර්ජනයක් නිසා මේ සියල්ල අඩාලවූ බවත් මෙම මරණයට මේ 84 දෙනා වගකිව යුතු බවත් කීය.



දුම්රිය සාමාන්‍යාධිකාරවරයා මේ ගැන වාර්තාවක් දන්වා ඇති බවත් මීට ඉහත පවා මෙවැනි සිදුවීම් සම්බන්ධව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටි බවත් අද සිද්ධිය ගැනත් සීඅයිඩී විමර්ශනයක් අවශ්‍ය බවට අද සවස දන්වා සිටින බවත් කීය.

 18 හැවිරිදි වියේ පසුවූ කාර්මික විද්‍යාලයක අධ්‍යාපනය හදාරමින් සිටි ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙම සිදුවීම නිසා මියගියේය.වාර්තාවන අන්දමට දුම්රිය වර්ජනය හමුවේ පැවති අධික තදබදය ⁣හේතුවෙන් මෙම මගියා දුම්රියේ වහලය
මතට ගොඩවී ගමන් කරද්දී ඉහළ පාලමක වැදී සමබරතාව අහිමිව යාමෙන් වැටී මරුමුවට පත්ව ඇත.
වැටුප් ප්‍රශ්නයක් නිසා ඇරඹූ දුම්රිය වර්ජනය තවම ක්‍රියාත්මකය.