battaramulla-incident

බත්තරමුල්ල දකුණු තලංගම කොරාව ප්‍රදේශයේදී පොලියට මුදල් දෙන පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ පුද්ගලයා කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය සඳහන් කරයි.

22 හැවිරිදි සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



සැකකරු මෙරටින් සිංගප්පූරුව බලා ගුවන් මගීන් ගමන් ගන්නා බවට පොලීසියට ලද තොරතුරකට අනුව ගුවන්තොටුපොළේ නිලධාරීන් එරට ගුවන්තොටුපොළේ බලධාරීන් සමග ක්ෂණිකව දුරකථන හරහා සම්බන්ධ වී සැකකරුවන් ආපසු හරවා එවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 25 වෙනි දින ජනක පුෂ්පකුමාර නමැති පොලියට මුදල් ලබා දෙන පුද්ගලයා ත්‍රිරෝද රථයකින් පොලී මුදල් එකතු කිරීමට ගොස් යළි පැමිණ කොරාව ප්‍රදේශයේදී මවගේ නිවසට පාගමනින් යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබිණි.

එහිදී බරපතළ තුවාල ලද එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මීයගොස් තිබිණි.

මියගිය පුද්ගලයා ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන බන්ටි නමැත්තාගේ ඥාති සහෝදරයකු බව පොලීසිය සඳහන් කරයි.



මත්ද්‍රව්‍ය ජාවාරමේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් බන්ට් නමැත්තා සමග විරසකව සිටින ගඩ්ඩා නමැත්තා විසින් බන්ට් නමැත්තාට රිදවීමට මෙම ඝාතනය සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

ඝාතනයට යතුරුපැදිය පැදවූ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී වෙඩික්කරු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදන්නා බවත් ඔහු බත්තරමුල්ල ප්‍රදේශයෙන් යතුරුපැදියට ගොඩ වූ බවත් වෙඩි තැබීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයකින් බැස ගිය බවත් සැකකරු පැවසී යැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු නිවුන් සහෝදරයන් දෙදෙනකුගෙන් අයෙකි මොහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතය. අතුරුගිරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ