මහින්ද රාජපක්‍ෂටයි රනිල් වික්‍රමසිංහටයි එකතු වෙන්න පුළුවන් නම්, නිශ්ප්‍රභූ පන්තියේ ආපු නායකයන් දෙදෙනෙකුට එකතු වන්න නොහැකි ඇයිදැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විමසා සිටියේය.

හෙතෙම මේ බව පවසා සිටියේ, ඊයේ (31දා) බදුල්ලේදී මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලෙසිනි.

එහිදී සිය අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර කුමාර දිසානායක මහතා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් විය යුතුයි. අනුරයි සජිතුයි දෙන්නාම ඉදිරිපත් වුණොත් අපි කරන්නේ විපක්‍ෂයේ ඡන්ද කඩන එක.



ඊළඟ ජනාධිපතිවරණයේදී සජිත් ජනාධිපති අනුර අගමැති එහෙම නැත්නම් අනුර ජනාධිපති සජිත් අගමැති කියලා ආවොත් අපට ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ සියලුම දෙනා ඒකරාශී විය යුතුයි කියලා. අපිත් මේ වෙලාවේ බලන්නේ අපට මැති ඇමතිකම් ඉල්ලන එක නෙවෙයි. අපි බලන්නේ විපක්‍ෂයේ ඉන්න ප්‍රධාන ධාරාවන් දෙක එකතු කර ගත්තොත් එතකොට වැඩේ හරියනවා. ජනාධිපතිවරණයක් කියන්නේ නිකම්ම නිකන් කේක් එකක් නෙවෙයි, අයිසිං කේක් එකක්. බටර් කේක් එකක් සජබෙත් ජාතික ජනබලවේගයේත් තියෙනවා හැබැයි අයිසිං තියෙන්නේ නිදහස ජනතා සභාවේ. හැබැයි අයිසිං විතරක් කෑවොත් දියවැඩියාව හැදිලා මැරෙනවා ඉතිං ඒ නිසා අපේ අයිසිං ටික දෙන්න සූදානම් බටර් කේක් තියෙන කට්ටියට අපි කියන්නේ බටර් කේක් තියෙන කට්ටියට එකතු වෙන්න කියලා.



අපි කාත් එක්කවත් දීගයක් කන්න සූදානම් වෙනවා නොවෙයි, අපි කල්පනා කරනවා විරුද්ධ පක්‍ෂයේ සියලුම පක්‍ෂ හා බලවේග එක මේසයකට ගේන්න ඕන කියලා ඒ නිසා ජාතික ජනබලවේගය විතරක් නෙවෙයි සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, උත්තර ලංකා සභාව, ශ්‍රී ලංකා කොමිනිස්ට් පක්‍ෂය, අපේ චම්පික රණවක මහතාගේ පක්‍ෂය, මුස්ලිම් කොංග්‍රසය සහ ටී.එන්.ඒ. එක අපි කියන්නේ මේ හැම පක්‍ෂයක්ම පාර්ලිමේන්තු වෙන් පිට ඉන්න පෙරටුගාමී පක්‍ෂයත් එකතු වුණොත් විතරයි අපට ඇඩ්‍රස් නැති වෙන්න මේ ආණ්ඩුව පරද්දන්න පුළුවන්. ඒක විරුද්ධ පක්‍ෂ තේරුම්ගත යුතුයි.

මහින්ද වික්‍රමසිංහ සහ රනිල් රාජපක්‍ෂ මේ ආණ්ඩුව කරන්නේ විරුද්ධ පක්‍ෂ බෙදන එක ඒ උඟුලට අහුවෙන්නේ නැතුව අපි එකතු වෙන්න ඕන කියන එක කරන්න සමහර වේලාවට සමහර පක්‍ෂවලට එකතු වෙන්න බැරි වේවි, ඒ නිසා අපි කල්පනා කරනවා මැතිවරණ කල්දාන එකට විරුද්ධව දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා පළාත් පාලන මැතිවරණය කල් දැම්මා ඔහු බොහෝවිට උත්සාහ කරයි ජනාධිපතිවරණයත් අනෙක් මැතිවරණයත් කල් දාන්න. එවැනි අවස්ථාවකදී අඩු ගාණේ මැතිවරණ කල්දාන කාරණයට හරි අපට සියලු පක්‍ෂ ඒකරාශී කර ගන්න පුළුවන්ද කියන කාරණය තමයි අපි මේ වේලාවේ කරන්න උත්සාහ ගනිමින් ඉන්නේ.” යැයිද පවසා සිටියේය.

 බදුල්ලේ පාලිත ආරියවංශ