Is-going-abroad-indicated-by-horoscope

අධ්‍යාපනය, රැකියාව, පදිංචිය හෝ සංචාරය සඳහ විදේශගත වන අය තම කේන්ද්‍රයේ එම වාසනාව ඇත්තේ යහපතට ද අයහපතට ද යන්න පැහැදිලිව අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය ය. කේන්ද්‍ර සටහනට අනුව විදේශගත වීම නිසා සිදුවන්නේ අවැඩක් නම් එම ගමන නොයා යුතුය. අවස්ථාව ලැබෙන නමුත් එම අවස්ථාව නිසා හානියක් විය හැකිය. වර්තමාන සමාජය තුළ රැකියා විරහිතභාවය නිසාත්, මෙරට දී ලබන ආදායම අඩුවීම නිසාත් වැඩි මුදලක් උපයා ගැනීම සඳහාත් විදේශ රැකියාවක් කිරීමට බොහෝ අය උත්සාහ කරති. නමුත් එහි සාර්ථක ඵල නෙළා ගන්නේ ස්වල්ප දෙනෙකු විය හැකිය. ඔබේ කේන්ද්‍රය පරීක්ෂක්ෂා කර ගෙන විදේශ ගමන්වල තත්වය පරීක්ෂා කර ගන්න.

කේන්ද්‍රයේ 12 වැන්න විදේශ ගමන් පිළිබඳව පෙන්වා දෙන බලවත්ම රාශි යයි.

බලවත් රාහු දොළොස්වැන්නේ වේ නම් දුර බැහැර විදේශ ගමන් සඳහා ග්‍රහචාරයකි. රාහුගේ බලය සමගම එයට දෘෂ්ඨිය වැටී ඇති ග්‍රහයාගේ තත්වය අනුව එම ගමන අධ්‍යාපනය වෙනුවෙන් ද, රැකියාවක්
වෙනුවෙන් ද යන්න තීරණය වෙනු ඇත. එමෙන්ම බලවත් අශුභ දෘෂ්ටි එල්ල වේ නම් එම ගමන්වල දී කරදර බාධක විය හැකිය.
කේන්ද්‍රයට අනුව යෙදෙන දශාවන් අනුව එම විදේශ ගමන් යෙදෙන ආකාරය ඔබට හඳුනා ගැනීමට ලැබීමෙන් ඒ අනුව ඔබට ගමනට සුදානම් වීමට හැකියාව ලැබෙනු ඇත. කුමන හේතුවක් සඳහා විදේශගත වුවත්, එය කේන්ද්‍ර සටහන්නේ නිවැරැදිව පෙන්වා ඇති නිසා තමන්ගේ කාර්යය ඉටුවේවි ද, නැද්ද යන්න හොඳින් තේරුම් ගත හැකි වේ.දොළොස් වැන්නට අමතරව 7, 9, 10 යන භාවයන්ගෙන් ද විදේශගත වීම් පිළිබඳව පෙන්වා දෙනු ඇත.


එසේ වෘෂභ, කන්‍යා, මකර වැනි පෘථිවි රාශියක යෙදෙන විදේශ ගත වීමේ හැකියාව තුළින් පෙන්වන්නේ එය පොළොව මත ගමන් කරන වාහනවලින් සිදුවන බව ය. ශ්‍රී ලංකාව දුපතක් නිසා එම හැකියාව අපට නොතිබුණ ද ජ්‍යොතිෂයට අනුව එම ශක්තිය ලෝකයේ වෙනත් රටවල ජනතාවට ලැබී ඇත. එසේම මිථුන, කන්‍යා, තුලා යන රාශින්ගේ බලවත්කම අනුව විදේශගත වීමක් ඇත්නම් ගුවනින් යාමට ලැබෙන හැකියාව ඇත්තේ එම රාශීන් වායෝ රාශියක් බැවිනි. වෘශ්චික, මීන යන රාශි නම් ජලයේ ගමන් කරන වාහනවලින් විදේශගත වීම සිදුවනු ඇත.ඔබේ කේන්ද්‍රයට අනුව හත්වැන්නට පැමිණි ලග්නාධිපති නිසා විදේශගත වීම ශක්තිමත් වන්නේ ලග්නය මේ, කටක වැනි චර රාශියක් වූ විටය. බොහෝ විට විදේශගත වීම විවිධ කාරණා ඔස්සේ සිදුවන අතර මෙරට දී නොතිබු අපල එහි දී බලපෑමට හේතුවන බව ද සිහිතබා ගත යුතුය.




සෙනසුරු ඒරාෂ්ඨක කාලයක් පවතින ඔබේ කේන්ද්‍රයට අනුව එහිදී ගෝචර ගමන යෙදෙන්නේ වෙනත් රාශියක  නිසා එම ඒරාෂ්ඨක කාලය විදේශයේ දී වෙනස් වේ. මේ කාලයේ යම් රාශියක ගමන් කරන සෙනසුරු වෙනත් රටක පිහිටීම අනුව වෙනත් රාශියක ගමන් කිරීම දැක්වෙන නිසා එම අපල ඇති නොවේ. එසේම එහි අනෙක් පැත්තද එසේමය. මෙරටදී නැති ඒරාෂ්ඨක විදේශයේ දී පලදීම නිසා එහිදී බොහෝ කරදරවලට මුහුණ දීමට ද සිදුවිය හැකි ය. එනිසා විදේශගත වීමේ දී ඒ පිළිබඳව ද කරුණු දැනගෙන යාම ශුභදායක ය. ග්‍රහ ශක්තිය මත විදේශගත වීම පෙන්වන ප්‍රධානතම ග්‍රහයා රාහු ය.

රාහුගේ ස්ථානගත වීම මත එය සිදුවන්නේ විවිධාකාරයට ය. රාහු විදේශගත වීම පෙන්නුම් කළ ද අශුභ ග්‍රහ ශක්තීන් රාහුට එල්ල වේ නම් එම ගමන ගිය ද අසාර්ථක ය. එසේම කුජ හෙවත් අගහරු සිව්වැන්නේ බලවත් නම් ජන්මියාගේ වාසය සිදුවන්නේ වෙනත් රටකය. එසේම 6 වැනි  භාවාධිපති ග්‍රහයා දෙවැන්නේ හෝ දසවැන්නේ ශුභ සේ සිටී නම් එය ද විදේශගත වීම පෙන්වා දෙන ග්‍රහයෝගයකි.බොහෝ විට සිදුවන විදේශගතවීම්වල දී උපයන ආදායමට හානි සිදුවීම, පවුල් ජීවිතවලට බලපාන වෙනත් සබඳතා ඇතිවීම, හිරිහැරවලට පාත්‍රවීම සහ වෙනත් බාධක සිදුවන්නේ කුමන ග්‍රහචාරයක් මත ද යන්න හොඳින් හඳුනාගෙන විදේශගත වීම පිළිබඳව සිතන්නේ නම් එය ඔබේ සිතිවිල්ල සහ උත්සාහය සාර්ථකවීමට ප්‍රබල හේතුවක් වනු නිසැක ය.


ඔබේ කේන්ද්‍රයේ විදේශ ගමන් බලය තිබුණ ද ගුරු ග්‍රහයා අශුභයෙකු සේ කේන්ද්‍රයේ සිටී නම් එම ගමන්නේ දී ඔබේ කටයුතු සිදුවන්නේ ඉතා මන්දගාමීව ය. නිවැරැදිව ඔබේ මනස ක්‍රියාත්මක නොවීම නිසා ඔබ විසින්ම ඇතිකර ගන්නා අශුභ හේතු මත එම ගමනට බාධාවන් එල්ල විය හැකිය. ඔබේ කේන්ද්‍රයේ 7 වැනි භාවයට අධිපති ග්‍රහයා 12 වැන්නේ සිටී නම් එය ශුභ ශක්තියකින් ඇත්නම් විවාහයෙන් පසු විදේශගත වීමේ හැකියාව පෙන්නුම් කරයි. දෙදෙනාම හෝ තනිවම හෝ ගමන යනු ඇත. එසේ නොමැති නම් ඔබ විවාහ වන්නේ විදේශගතව සිටින අයෙකු සමග ද විය හැකිය. මේ අනුව ඔබේ කේන්ද්‍ර සටහන ජීවිතයේ අත්‍යවශ්‍ය සියලුම අපේක්ෂා කරන්නේ නම් එයට ඉතා හොඳ පණිවුඩයක් ලබා දෙනු ඇත. සමහර අය අතර පවතින මතයක් වී ඇත්තේ කේන්ද්‍ර සැලකිල්ලට නොගෙන විදේශගත වී සිටින අය හොඳ තත්වයක සිටින බව විය හැකිය.

එය සත්‍යයකි. ග්‍රහචාරය යහපත් නම් කේන්ද්‍ර බැලුව ද, නොබැලුව ද එම ගමන සාර්ථක වේ. නමුත් අශුභයක් සිදු වීමට හේතුවන දුර්වල ග්‍රහචාරයක් ඇත්නම් කේන්ද්‍රය හරහා එය කලින් හඳුනාගත හැකිවීම තමන්ගේ කටයුතුවලට ශක්තියක් වනු ඇත. ඒ පිළිබඳව සැලකිලිමත් වේනම් ඔබ කුමන ආගමකට අයත් වුව ද, ඔබට කේන්ද්‍රයක් නොමැති නම් ඔබේ උපතේ තොරතුරු  මත කේන්ද්‍රය සකස් කර ගත හැකිය. මෙසේ ඔබේ ජීවිතය නිවැරැදිව සකස් කර ගත හැකි වන්නේ, විදේශගත වීම සාර්ථක වන්නේ ඔබ හොඳ අවධානයෙන් සිටීමෙන් බව මතක තබා ගත යුතුය.

H Amarasinghe