Eight-year-old-girl-loses-an-arm-after-being-treated-for-fever-Doubts-on-medical-reports

උණ රෝගයට ප්‍රතිකාර ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ගිය අට හැවිරිදි දැරියගේ අතක් අහිමි වීමේ සිද්ධිය සම්බන්ධ යෙන් වූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී යාපනය ශික්ෂණ රෝහලේ වාර්තා පරීක්ෂණ ලිපි සහ අනෙක් ලියවිලි සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පෙරේදා (27) මතු වුණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට යාපනය ශික්ෂණ රෝහලෙන් හා කොළඹින් පත් කරන ලද විශේෂ කමිටු දෙකේ වාර්තා ඉතා සැක සහිත බවත්, ඒවා ප්‍රසිද්ධ නොකිරීමට හේතුව මේ සිද්ධියට සම්බන්ධ හෙදිය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීමට සාපනය ශික්ෂණ රෝහලේ හා උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරින් උත්සාහ කිරීම නිසා බවත් අධිකරණයේදි ප්‍රකාශ විණි.


දැරියගේ මවුපියන් සහ ඥාතීන් ද, නීතිඥවරුන් ද ඉල්ලා සිටියේ එම වාර්තාවල කුමක් සඳහන් වුවත් යාපනය පොලිසියේ වාර්තා සහ කොළඹ යම් යම් ආයතන වලින් ගන්නා වාර්තා පදනම් කරගෙන මේ නඩුව ඉදිරියට පවත්වාගෙන යන ලෙසයි.
ඊට ප්‍රතිචාර දක්වමින් යාපනය මහේස්ත්‍රාත් ඒ. ඒ. ආනන්දරාජා මහතා දැරියගේ කපා ඉවත් කළ අත කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ විශේෂඥ කායවිච්චේද වෛද්‍යවරයකු ලවා පරීක්ෂණයකට භාජනය කරන ලෙස නියෝග කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් යාපනය මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කිහිපයක්ම දුන් අතර, දැරියගේ අත කොළඹ විශ්වවිද්‍යාලයට සැවීමට කටයුතු කිරීමේදී සියලු ක්‍රියා සමඟ පොලිසිය සිටිය යුතු බවට ද නියෝග කරනු ලැබීය.


දැරියගේ අත අහිමි වීම සම්බන්ධයෙන් යාපනය රෝහලේ සිදු කළ වාර්තා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලෙසට කළ ඉල්ලීම මෙහිදී සලකා නොබැලූ අතර, මහේස්ත්‍රාන්වරයා පොලිසියට නියෝග කළේ දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති සියලුම පොලිස් වාර්තා දින දහසක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.