weligama-hotel-story

පසුගියදා වැලිගම පිහිටි හෝටලයක ගෙවීම් පැහැරහැර හිමිකරු සමග උරණවී ඊට ගිනිතැබූ ඊජිප්තු ජාතික සංචාරකයා එම සිදුවීමෙන් පසු පිළිස්සුම් තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි  අතර රෝහල් ආරංචි පවසන්නේ දින 15 කට පසු ඔහු මියගිය බවයි.



වැලිගම කුඹල්ගම කුරුදුවත්ත පුදේශයේ සංචාරක නිකේතනයක ලැගුම් ගෙන සිටි තිස්තුන් හැවිරිදි ඊජිප්තු ජාතිකයා
පසුගිය 2 වනදා පස්වරුවේ හෝටල්හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී තමා නැවතී සිටි කාමරයට ගිනි තබා ඔහු ද එම ගිනිගොඩට පැන බරපතල තුවාල ලැබුවේය.

පිලිස්සීමෙන් තුවාල ලැබූ ඊජිප්තු ජාතික සංචාරකයා අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්‍ෂාව යටතේ මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර


අධික පිලිස්සුම් නිසා ඔහු අවසානයේ මියගියේය.

මෙම ඊජිප්තු ජාතිකයා මාස තුනක පමණ කාලයක සිට එම සංචාරක නිකේතනයේ ලැගුම් ගෙන සිට ඇති  අතර ඔහු අවසන් මාසයට හෝටල් ගාස්තු නොගෙවීම නිසා හෝටල්හිමිකරු සමඟ ඇතිවූ වාදයකින් පසු ‘ගිනිතබාගෙන මැරෙන‘ මානසිකත්වයට පත්ව තිබූ බව පරීක්ෂණ වලදී හෙලි විය.
ගැටුම ඇතිවූ අවස්ථාවේ හෝටල හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී තිබූ බවද පොලිසිය සඳහන් කරයි.
හෝටල් හිමිකරුට පහර දීමෙන් පසුව ඔහු ලැගුම්ගෙන සිටි කාමරයේ කොට්ට, මෙට්ට වලට ගිනි තබා ගෑස් සිලින්ඩරයක් ද ගෙනැවිත් දමා සංචාරකයා ද ගිනි ගොඩට පැන බරපතල තුවාල ලැබුවේය.

සිද්ධිය වූ අවස්ථාවේ විදේශීය සංචාරකයන් තවත් පිරිසක් එම නිකේතනයේ ලැගුම් ගෙන සිටි අතර ඔවුන්ට හානියක් සිදුවූයේ නැත.
මියගිය විදෙස් ජාතිකයාගේ මෘතදේහය මාතර රොහලේ  තැන්පත් කර ඇත.
ඔහුගේ ඥාතින් පැමිණිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිත ව තිබේ.