dandugan-oya-dead-body

ඉකුත් 16 වැනිදා සීදූව පොලිසියට ලද පණිවුඩයකින් කියැවුණේ දඬුගංඔය ඉවුරේ ගමන් බෑගයක බහාලූ මළසිරුරක් ඇති බවයි. තවද නිල් පැහැති ගමන් බෑගයෙන් පිටතට අතක්ද පැමිණ ඇති බවත්, ඉන් දැඩි දුගඳක් හමන බවත් ඉන් කියැවිණි.



පණිවුඩය ලද සැණින් බෑගය ඇතැයි කී හිඳගොඩ, බෙල්ලානවත්ත ප්‍රදේශයෙන් දඬුගංඔය අසලට ගිය පොලිස් නිලධාරීන්ට දැකගන්නට ලැබුණේ වයස අවුරුදු තිස්පහක පමණ පෙනුමක් ඇති අයකුගේ මළසිරුරකි.

මළසිරුරේ ස්වභාවය අනුව එය දින දෙකකට, තුනකට පෙර සිදුවූ මරණයක් බවට පොලිසිය අනුමාන කළේය. තවද එම පුද්ගලයාට පහර දී ඝාතනය කර බෑගයේ දමා දඬුගංඔයට දමන්නට ඇතැයිද පොලිසිය සැක කළේය.

මීගමුව කෙට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් පරිදි සීදූව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාරගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒ පිළිබඳ විමර්ශන ඇරඹුවේ මෙම මළසිරුර හමුවූ කාලය අතරතුර අතුරුදන්ව සිටින පුද්ගලයන් පිළිබඳවද තොරතුරු සොයා බලමිනි. ඒ අනුව මාරවිල, කුඩාවැව ප්‍රදේශයේ තරුණයකු දින කිහිපයක සිට අතුරුදන් බවට පොලිසියට ​හෝඩුවාවක් ලැබිණි. එසේ අතුරුදන්ව ඇත්තේ ඇටම්පොළ ආරච්චිගේ සුසන්ත රන්ජන් රණසිංහ නමැති 36 හැවිරිදි අයෙකි. ගමන් බෑගයේ තිබී හමුවූ මළසිරුර ඔහුගේ බවට සැක කළ පොලිස් නිලධාරීහු ඒ පිළිබඳ තවදුරටත් සොයා බලන්නට කුඩාවැව, මහවැව ප්‍රදේශයට ගියහ. පසුව සුසන්තගේ මවද මෘතදේහය හඳුනා ගන්නට මීගමුව රෝහල් මෘත ශරීරාගාරයට කැඳවා තිබිණි.



‘‘ඝාතනයට ලක්වෙලා ඉන්නේ මගේ දෙවැනි පුතා. එයාගේ ගෙල ප්‍රදේශයේ තරු හයක පච්චයක් තියෙනවා. පුතාට වයස තිස්හයයි. විවාහ වෙලා නැහැ. එයා පිටරට රස්සාවලට මුදල් ලබාගෙන පිරිස් යොමු කරනවා. පසුගිය කාලේ එම සල්ලි අරන් රට යවන්න බැරිවුණු සමහර අයගෙන් මරණ තර්ජනත් ආවා. සමහරු දුරකථන ඇමතුම් දුන්නා. සමහරු ගෙදරටම හොයාගෙන ආවා. පුතා අතුරුදන් වෙන්න දවස් දෙකකට කලිනුත් කිහිපදෙනෙක් ගෙදරට ඇවිත් ඔහුට මරණ තර්ජන කරලා ගියා’’ සුසන්තගේ මව එලෙස පැවැසුවේ පොලිසියට කටඋත්තරයක් ලබාදෙමිනි.

ඒ අනුව ඔහුගේ මරණයට ආසන්නතම හේතුව රට රැකියාවක් ලබාදීම සම්බන්ධ මුදල් ගනුදෙනුවක් විය හැකි බවට පොලිසිය අනුමාන කළේය. එම සැකය ඔස්සේ විමර්ශන සිදු කළ පොලිසියට තවත් තොරතුරු රැසක් දැනගන්නට ලැබිණි. ඒ අනුව අනාවරණ වූයේ ඝාතනයට ලක්වූ තරුණයාට එරෙහිව පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි ලැබී තිබුණු බවයි. මාදම්පේ, බණ්ඩාරවෙල හා කටාන පොලිස් ස්ථානවලට එවැනි පැමිණිලි කිහිපයක් ලැබී තිබිණි. ඒ සියල්ලේම සඳහන්ව තිබුණේ අදාළ තරුණයා රට රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ බවයි.

පසුව එම ප්‍රදේශයේ තිබූ සී.සී.ටී.වී. කැමරාවල දර්ශන පරීක්ෂා කිරීමේදී සැක කටයුතු වෑන් රථයක් ගැන අවධානය යොමුවිය. එය මෙරුන් පැහැති කුඩා වෑන් රථයකි. එහි ලියාපදිංචි අංකය ඔස්සේ විමර්ශන සිදුකර තොරතුරු රැසක් හෙළිකර ගන්නට පොලිසියට හැකිවිය.



කටාන, රුක්අත්තන හන්දියේ හෝටලයක් පවත්වාගෙන යන පනස් හැවිරිදි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

‘‘මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කරද්දී තොරතුරු රැසක් අනාවරණය කරගන්නට හැකිවුණා. මියගිය සුසන්ත නමැත්තා මෙම ව්‍යාපාරිකයාගේ පුතුන් දෙදෙනා ජපානයට යවන බව පවසා රුපියල් ලක්ෂ විසිහතරක මුදලක් ලබාගෙන තිබෙනවා. නමුත් මුදල් ලබාගත්තට ඒ කාර්යය ඔහු ඉටුකර දී නැහැ. මියගිය සුසන්තගෙන් මොවුන් කිහිප වරක්ම මුදල් ආපසු ඉල්ලලා තියෙනවා. ඒත් රට යන වැඩේවත්, මුදල් ආපසු දෙන එකවත් ඔහු සිදුකර නැහැ. ඒ අනුව ඉකුත් 11 වැනිදා පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය ළඟදී ඔහු මුණ ගැහෙන්න එම ව්‍යාපාරිකයා, ඔහුගේ ලොකු පුතා සහ​ හෝටලයේ සේවකයකුත් ගිහින් තියෙනවා. එහිදී ඔවුන් උපායශීලීව සුසන්ත වෑන් රථයට නංවාගෙන තියෙනවා’’ සිද්ධියේ අගමුල එලෙස පැහැදිලි කළේ සීදූව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාරය.

එසේ මෝටර් රථයට නංවා ගැනීමෙන් පසු කටාන දාගොන්න, අක්කර 50 ප්‍රදේශයේ පිහිටි මෙම ව්‍යාපාරිකයාට අයත් පොල් වත්තකට සුසන්ත රැගෙන ගොස් තිබේ. එහිදීද මුදල් ඉල්ලා සුසන්තට අතින්, පයින් හා පොලුවලින්ද පහර දී ඇතැයි පැවැසේ. මේ අතර සුසන්ත ඔවුන්ගෙන් මිදී පලා යාමට උත්සාහ කර තිබේ. නමුත් යළි ඔහු අල්ලා ගන්නා මෙම පිරිස අනතුරුව ඔහු රැගෙන එන්නේ කටාන, රුක්අත්තන හන්දියේ පිහිටි හෝටලයටය.

එම හෝටලයත්, ව්‍යාපාරිකයා පදිංචි නිවසත් පිහිටා ඇත්තේ එකිනෙකට ආසන්නවය. ​හෝටලයේ අලුතින් ඉදිකෙරෙන කබානාවක් වෙත සුසන්ත රැගෙන ගිය පියා හා පුතුන් දෙදෙනා හෝටලයේ සේවකයන් තිදෙනකු සමග එක්ව ඔහුට යළි පහර දෙන්නේ සිත්පිත් නැත්තෝ පරිද්දෙනි. මෙසේ පහර කෑ සුසන්ත මියගොස් ඇති බව ඔවුන් දැනගන්නා විට මධ්‍යම රාත්‍රියටද ආසන්න වෙමින් තිබිණි. ඊළඟට ඔවුන් සැලසුම් කළේ ඔහුගේ මළසිරුර රහසිගතව ගොස් අතහැර දමා එන අයුරුය. ඒ අනුව පිටරට යනවිට භාණ්ඩ රැගෙන යන සුවිසල් ගමන් බෑගයක් රැගෙන ඊට මළසිරුර දැමුවේය.

12 වැනිදාට පහන් වන්නට ​​හෝරා කිහිපයක් තිබියදී වෑන් රථයෙන් එය රැගෙන විත් දඬුගංඔයට දමන්නේ සීදූව පොලිස් වසමට අයත් දඬුගංඔය හරහා ඇති පාලම මත සිටය. පසුව එය බෙල්ලානවත්ත ප්‍රදේශයෙන් දඬුගංඔය ඉවුරට පාව එන්නේ තවත් අපරාධයක සුලමුල හෙළි කරමිනි.

ඒ අනුව අදාළ ව්‍යාපාරිකයා, ඔහුගේ විසිපස් හැවිරිදි හා විසිතුන් හැවිරිදි පුතුන් දෙදෙනා, ඔවුන්ගේ සේවකයන් වන අවුරුදු 30, 36 හා 40 වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනකු සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ සිද්ධියෙන් දින කිහිපයක් ගතවීමටද පෙරය.

මේ සම්බන්ධ විමර්ශන සඳහා සීදූව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාරගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්.එස්. ජී. කුමාර, උප පොලිස් පරීක්ෂක ඒ.එස්.මධුසංක උප පොලිස් පරීක්ෂක සුගත් ගුණවර්ධන, පොලිස් කොස්තාවල්වරු වන බණ්ඩාර (27180), රණසිංහ (56302), රාජපක්ෂ (12052) සහ තිලකරත්න යන නිලධාරීහු මෙම විමර්ශන සඳහා එක්වූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා ඔක්තෝබර් 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න ඊයේ (20 වැනිදා) නියෝග කළාය.


දීපා වසන්ති එදිරිසිංහ
රේමන් අපොන්සු - මීගමුව