පසුගිය කාලයට සාපේක්‍ෂව කුඩා වර්ගයේ මාළු මිල මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබෙන නමුත් ලොකු වර්ගයේ මාළු මිල සාමාන්‍ය තත්ත්වයේ පවතින බව පෑලියගොඩ මාළු වෙළෙඳ සමිතිය සදහන් කරයි.

එසේම ඊයේ (21දා) දිනයේදී හාල් මැස්සන් කිලෝවක් රුපියල් 400ක මුදලකටත්, සාලය කිලෝව රුපියල් රුපියල් 150ත් 200ත් අතර මුදලකට හා හුරුල්ලෝ කිලෝව රුපියල් 250ත් 300ත් අතර මුදලකට අලෙවි වූ බවත් එම සංමයේ ලේකම් ජයන්ත කුරේ මහතා පැවසීය.



මීට අමතරව තලපත් කිලෝව රුපියල් 2,000 ඉක්ම වූ මිලකටත්, තෝරා මාළු කිලෝව රුපියල් 3,000කට ආසන්න මුදකටත් අලෙවි වූ බවත්, කුඩා වර්ගයේ මාළු වැඩි වශයෙන් මේ වනවිට ලැබෙමින් තිබෙන අතර, එනමුත් විශාල ප්‍රමාණයේ මාළු වර්ග ලැබීම අඩු වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

කුඩා වර්ගයේ මාළු මිල නොවැම්බර් මාසය වන තෙක් අඩු මිලක පැවතිය හැකි බවත්, එයට හේතු වී තිබෙන්නේ, එක් දින යාත්‍රා මගින් සිදුකරන ධීවර කටයුතුවලදී වැඩි අස්වැන්නක් ලැබීම බවත් ලේකම්වරයා සඳහන් කළේය.

පොදුවේ මාළු වෙළෙඳ සැල් සැලකීමේදී ඊයේ දිනයේදී ලින්නා කිලෝවක් රුපියල් 580ත්, 650ත් අතර මුදලකට අලෙවි වී තිබෙන අතර,

ලේනා පරවි කිලෝවක් රුපියල් 750කටත් මධ්‍යම මට්ටමේ බලයා කුරින් සැලකීමේදී කිලොවක් රුපියල් 750කට හා මධ්‍යම මට්ටමේ කෙලවල්ලා කූරි කිලෝවක් රුපියල් 1,400කට හා කෙන්දා කිලෝවක් රුපියල් 1,400කටත් ගින්නැටි පරවි කිලෝවක් රුපියල් 1,000කට හා මධ්‍යම ප්‍රමාණයේ අලගොඩුවා කූරි කිලෝවක් රුපියල් 550කට හා සාමාන්‍ය ප්‍රමාණයේ ඇටවල්ලා කුරි කිලෝවක් රුපියල් 800කට හා දැල්ලා කිලෝවක් රුපියල් 650ත් 700ත් අතර මුදලකටත් සාමාන්‍ය තත්ත්වයේ ඉස්සන් කිලෝවක් රුපියල් 1,450කටත් පොතුරියා කිලෝවක් රුපියල් 300ත් රුපියල් 330ත් අතර මුදලකට අලෙවි වී තිබේ.

 එච්.අයි. තුෂාර