harak-kata-cid-break-attempt

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට පලා යෑමේ උත්සාහය සැලසුම් සකස් කළ පොලිස් කොස්තාපල්වරයා කඩවත දක්වා මෝටර් රථයකින් රැගෙන ගිය බව කියන පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (23) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.



ඔවුන් දෙදෙනා මිදිගම මුහුදු පාරේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

හරක් කටාගේ පලායෑමේ උත්සාහයේ සැලසුමට උදව් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිවුදෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට යොදාගත් මෝටර් රථයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.



අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනාම ඩුබායිහි සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මිදිගම රුවන් නමැත්තාගේ සමීපතම ගෝලයන් බවත් පොලිසිය කියයි.

හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ මෙහෙයුමක් ඩුබායි සිට ක්‍රියාත්මක කර ඇත්තේ මිදිගම රුවන් නමැත්තා බවට අනාවරණය වී ඇත.

ඉකුත් 22 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මෝටර් රථය දෙල්කඳ පොළ අසළ නවතා යාමෙන් අනතුරුව එම මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට රැගෙන ගොස් හරක් කටා සහ කොස්තාපල්වරයා රැගෙන යෑම මෙම සැකකරුවන් දෙදෙනාට පැවරී තිබුණත් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට නොහැකි වූ බැවින් කොස්තාපල්වරයා පමණක් එයින් පලාවිත් මෝටර් රථයට නැගීමෙන් අනතුරුව කඩවත දක්වා රැගෙන ගොස් ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා බව පොලිසිය කියයි.

එසේ රැගෙන යන අතරතුරදී කොස්තාපල්වරයාට දුරකතන ඇමතුම් කිහිපයක් ලැබුණු අතර, ඔහු මෝටර් රථයෙන් බැස ඒවාට පිළිතුරු දුන් බව සැකකරුවන් දෙදෙනාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
 කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
 බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ