The-principal-who-abuse-the-student-in-the-school-was-jailed-for-7-years---she-screamed-after-being-punished

පාසල තුළදීම දස හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාව මත මන්නාරම සෙල්වනගර් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට බරපතල වැඩ සහිතව වසර හතක සිර දඩුවමක් මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම් මිහාල් විසින් ඊයේ 11 නියම කළේය.

එම දඩුවමට අමතරව රුපියල් 25000 ක දඩ මුදලක්ද රුපියල් ලක්ෂයක වන්දියක්ද  දැරියට ගෙවන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.

2014 සැප්තැම්බර් 23 වැනි දින මන්නාරම පාසලක 10 හැවිරිදි සිසුවියක් දූෂණය කළ බවට ලද පැමිණිල්ලකට අනුව මන්නාරම පොලීසිය අදාල විදුහල්පතිවරයා අත් අඩංගුවට ගෙන  මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබීය.



පසුව විදුහල්පතිවරයා සම්බන්ධයෙන් වූ නඩුව මන්නාරම මහාධිකරණය වෙත මාරු කිරීමෙන් පසුව මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ලබා දෙන ලදී.

දැරිය දූෂණය කිරීමේ සිද්ධිය දැරියගේ කට උත්තරය හා අධිකරණ වෛද්‍යවාර්තාව හා තවත් විද්‍යාත්මක සාධක මත  පැහැදිලිවම  ඔප්පු වූ අතර විත්තිකාර විදුහල්පතිවරයා එම චෝදනාව තමන් විසින් සිදු කරණ ලද බවට ප්‍රකාශයක් කරමින් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටියේය.

මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කිරීමත් සමගම  චූදිත විදුහල්පතිවරයා මහා හඩින් අධිකරණය තුළ විලාප තබමින් තමන්ව නිදහස් කරණ ලෙසද ආයාචනා කොට සිටියේය.


පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥ චෙසාන් මහබූම් මහතා නඩුව මෙහෙයවීය.