He-met-the-30th-person-who-brought-malaria-all-of-them-came-from-outside

මැලේරියා රෝගය වැළඳුණු යුද හමුදා සෙබළෙකූ අනුරාධපුරයෙන් සොයා ගැනුණු බවත්, විදේශ ගතව සිට පැමිණ ඇති මෙම සෙබලා, අනුරාධපුර වික්ටරි යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන බව අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය පවසයි. මෙසේ සොයා ගෙන ඇති මැලේරියා රෝගියා සුඩානයේ සිට මීට මාස 6කට පෙර ලංකාවට පැමිණි හමුදා සෙබළෙකි.

ඉකුත් පෙබරවාරි මාසයේ ලංකාවට පැමිණ ඇති ඔහු මාස හයක පමණ කාලයක් රට තුළ ගත කිරීමෙන් පසු මෙසේ මැලේරියා රෝගය වැළඳීම විශේෂත්වයකි.ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගය 2016 වසරේ සම්පූර්ණයෙන්ම තුරන් කර තිබූ අතර ඒ සඳහා ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ද ලැබී තිබිණි.

මේ වසරේ ලංකාවේදී සොයා ගත් තිස්වන මැලේරියා රෝගියා මොහු වන අතර මේ මැලේරියා ප්‍රභේදය ලංකාවට ආවේණික මැලේරියාව නොවන අතර මෙය විදේශීය රටවල පවතින මැලේරියා ප්‍රභේදයක් බවත් මෙතෙක් වාර්තා වී ඇති මැලේරියා රෝගීන් තිස් දෙනාම විදේශවල පවතින මැලේරියා ප්‍රභේද සහිත වූවන් බවත් සෞඛ්‍ය අංශ පවසයි. මේ වසරේ පෙබරවාරි මස ලංකාවට පැමිණ ඇති හතළිස් හැවිරිදි මෙම සෙබළා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඉකුත් 21දා දින දහයක නිවාඩුවකට අනුරාධපුරයට පැමිණ සිටියදී මෙලෙස සොයා ගෙන තිබේ.



දින දෙකක් දෙකක් තිස්සේ මොහුට අධික සීතල සහිත උණ, හිසෙහි කැක්කුම, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ තිබී ඇති අතර විදේශගතව පැමිණි රෝගියකුට මේ ලක්ෂණ සහිතව සිටින බවට අනුරාධපුර මැලේරියා මර්දන ඒකකයට වාර්තා වීමෙන් පසු වූ වහාම ක්‍රියාත්මක වී ඉකුත්දා 29 එම ඒකකය මගින් රුධිර සාම්පල් පටල පරීක්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුව ඔහුට මැලේරියාව වැළඳී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය කාර්යාලය පවසයි. මේ වනවිට එම රෝගී සෙබළා අනුරාධපුර වික්ටරි යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝගය සුවවෙමින් පැවතියද මේ වන විටත් එම හමුදා රෝහල් සේවකයන් සහ ඒ ආශ්‍රිතයන් දෙසිය තිහකගේ රුධිර සාම්පල පරීක්ෂා කර ඇතැයි වාර්තා වේ.
බී.ජී. චතුරංග