Turkeys-international-film-festival-is-canceled-because-of-a-film-critical-of-the-government

තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන්ගේ මර්දනයෙන් පීඩාවට පත් වූ වෛද්‍යවරයකු සහ ගුරුවරයෙකුගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳ කියැවෙන “ද ඩික්‍රී” නමැති වාර්තා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්නට තිබී ඉහළ නියෝගයකින් ඉවත්කිරීමේ සිද්ධියක් හේතුවෙන් ‘තුර්කියේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල‘ තුළ අවුල් සහගත තත්වයක් නිර්මාණය වූ අතර අවසානයේ උළෙල අවලංගු කළ බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ.



2016 දී සිදු වූ අසාර්ථක කුමන්ත්‍රණයකින් පසු අධිකරණය තුළින් තම බලය ස්ථාවර කරගන්නට තුර්කි නායකයා යම් යම් අය බිල්ලට දී තිබූ විස්තරය මෙම මතභේදකාරී චිත්‍රපටය මගින් නිරූපණය වූ බව කියැවේ.
මෙම චිත්‍රපටය මුලින් උළෙල සඳහා තෝරා ගන්නා ලද නමුත් පසුගිය සතියේ තරඟයෙන් බැහැර කරන ලද අතර, එම පියවර ‘වාරණයක්‘ ලෙස හෙළා දුටු චිත්‍රපට නිෂ්පාදකයින් ඊට විරෝධය පළ කළහ.
සිනමා උළෙලේ ජූරි සභිකයෝද චිත්‍රපටිය නැවත භාර නොගතහොත් ඉන් ඉවත් වන බවට තර්ජනය කළ නමුත් සංස්කෘතික අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඒ ගැන නැවත විමසුමක් සිදු කර පසුව එය නැවත බැහැර කරන ලදී.


"බාහිර හේතු මත ඔක්තෝබර් 7-14 අතර පැවැත්වීමට නියමිතව තිබූ අපගේ උත්සවය අවලංගු කළ බව චිත්‍රපට ලෝලීන්ට කණගාටුවෙන් දැනුම් දෙමි" යනුවෙන් සංවිදායකයන් වෙනුවෙන් තුර්කියේ ඇන්ටාලියා නගරාධිපතිවරයා සමාජ මාධ්‍යවලින් අවලංගු කිරීම නිවේදනය කෙරිණි.