IP-suspended-for-taking-alcohol-without-paying

මඩකළපුවේ රට බීමහල් දෙකකින් මුදල් නොදී අරක්කු බෝතල් දෙකක් බලහත්කාරයෙන් ගෙන ත්‍රිරෝද රථයකින් පලාගිය බව කියන වාකරේ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කළ බව මඩකළපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කරනු ලැබුවේ මඩකළපුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න මහතා විසිනි.



නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියකු මඩකලපුව බස් නැවතුම් පොළ ආසන්නයේ පිහිටි රට බීමහලකට ත්‍රිරෝද රථයකින් පැමිණ අරක්කු බෝතලයක් ලබාගත් අවස්ථාවේ කළමනාකාරවරයා මුදල් ඉල්ලා ඇති අතර ත්‍රීරෝද රථයේ මුදල් තිබෙන බව පවසා මුදල් රැගෙන එන්නම් යැයි කියමින් ඔහු අරක්කු බෝතලයද රැගෙන ත්‍රිරෝද රථයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.ඔහු මඩකළපුවේ පිහිටි තවත් රට බීමහලකින්ද මේ ආකාරයටම අරක්කු බෝතලයක් රැගෙන පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.



මුදල් නොදී බලහත්කාරයෙන් අරක්කු බෝතල් රැගෙන යන අයුරු රට බීමහල් දෙකේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව ඇති අතර එම රූපරාමු පෙළ පසුගිය දිනවල සමාජ මාධ්‍යවලද පළවිය. එය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මඩකළපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න මහතා මහතාට උපදෙස් දී ඇත. මෙම පොලිස් පරීක්ෂකවරයා එහිදී හඳුනාගෙන ඔහුගේ වැඩ තහනම් කර ඇත. දින තුනක නිවාඩු ලබාගෙන සිටි මෙම පොලිස් පරීක්ෂකවරයා පසුගිය 8 වැනිදා වාකරේ පොලිසියට පැමිණ රාජකාරියට වාර්තා නොකර නිල ඇඳුමෙන් සැරසී ගොස් මෙම සොරකම කර ඇති බව පරීක්ෂණවලින් හෙළිවිණි යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය