JVP-Nuwara-Eliya-ex-member-was-electrocuted-at-strawberry-farm

නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු ස්ට්‍රොබරි වගාබිමකදී විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
එළවළු වගාවට වන සතුන්ගෙන් සිදු වන හානි අඩු කර ගැනීමට විදුලි රැහැන් ඇද සවි කළ විදුලි වැටෙහි දැවටී ජීවිතක්ෂයට පත්ව ඇති බව මරණය සම්බන්ධයෙන් මුලික විමර්ෂණ සිදු කළ නුවරඑලිය පොලිසිය පවසයි.
මෙම විදුලි රැහැන නිවසේ ප්‍රධාන විදුලි පරිපාලන පුවරුවේ සිට වයරයක අධාරයෙන්  කම්බි වෙත සෘජුවම
සම්බන්ධව තිබී ඇති අතර ඊයේ  (02) දින රාත්‍රි 7.00 ට පමණ මියගිය පුද්ගලයා වගා භූමියේ බිම ඇද වැටී සිටියදි සොයාගත් බවත්  ඔහුගේ දෑතේ තම ගෙවත්තෙන් නෙලා ගත් ස්ට්‍රෝබෙරි කිහිපයක්ද තිබූ බවත් වාර්තා විය.


මියගිය පුද්ගලයා  විදුහල්පති ශ්‍රේණියේ ගුරුවරයෙකුව සිට පසුව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි මයිකල් ඇකියුලස් ද සිල්වා ය.
තම එකම පුතු සමග ශාන්තිපුර සිය නිවසෙ ජීවත් වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීයව දේශපාලන කටයුතු සිදු කළ අතර ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම ජාතික ජන බලවේගයේ නුවරඑලිය ප්‍රාෙද්ශීය කණ්ඩායම් නායක ලෙසද කටයුතු කළ අයෙකි.

ඔහු දේශපාලන භේදයකින් තොරව තමන් පදිංචි ගම වන ශාන්තිපුර ප්‍රදේශයට හා අනෙකුත් අවට ප්‍රදේශ ගණනාවකටම තමන් මන්ත්‍රීධූරය හොබවන කාලයේදී ඉතාම අවංක ලෙස කටයුතු කර විශාල සේවයක් කළ  යහපත් පුද්ගලයෙක් බව ප්‍රදේශවාසීහු පැවසූහ.

දේහය පිළිබඳ අවසන් කටයුතු (05) අඟහරුවාදා දින ශාන්තිපුර කලාපුර පොදු සුසාන භූමියේදී සිදු කරන බව පවුලේ ඥාතීහු සඳහන් කරති.