ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරග ප්‍රවේශපත් මිල ඉතා අධික වූ බවත්, ඒ හේතුවෙන් අතිබහුතර ක්‍රීඩා ලෝලීන් තරග නැරඹීමට නොපැමිණි බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.
ඉන්දීය මාධ්‍ය නාළිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුත්තයියා වැඩිදුරටත් පවසා සිටියේ, ඇතැම් ප්‍රවේශපතක මිල ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ මාසික වැටුපට සමාන බවයි.
"ආසියානු කුසලානය සත්කාරකත්වය දරන්නේ පාකිස්තානය නිසා ප්‍රවේශපත්වල මිල තීරණය කරන්න ඇත්තේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය. නමුත් ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ මූල්‍ය අර්බුදයක, එවන් තත්ත්වයක ප්‍රවේශපත් ඇත්තෙන්ම මිල අධිකයි. ඒවා අඩුකළේ අවසන් මොහොතේ.
ප්‍රවේශපත් මිල ආරම්භ වූයේ ශ්‍රී ලංකා රුපියල් 6,000 සිට. කෙනෙක්ට ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයේ (Grandstands) සිට තරගය නැරඹීමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකා රුපියල් 40,000 සිට 50,000 දක්වා වුණා. එය ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ මාසික වැටුපට සමානයි. ශ්‍රී ලංකාවේ එතරම් මුදලක් දැරිය හැකි බොහෝ දෙනෙකු සිටිනවා කියලා මට හිතන්නේ නැහැ” මුත්තයියා මුරලිදරන් පැවසීය.
ඒ අනුව මුත්තයියා පවසන්නේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ ආරිථික මට්ටමට ගැළපෙන අයුරින් සත්කාරක අයිතිය ඇති පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) ආසියානු කුසලාන ප්‍රවේශපත්‍ර මිල තීරණය කර නොමැති බවයි.
ඉන්දියාව සහ පාකිස්තානය අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පෙරේදා (11) පැවැති තරඟය නැරඹීමට ක්‍රීඩාලෝලීන් සීමිත සංඛ්‍යාවක් පැමිණ සිටි අතර, එය ඉන්දු - පාකිස්තාන සටනකට සහභාගි වූ අවම ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාව ලෙස සැලකෙයි. විශේෂයෙන් 35,000කට අසුන් ගැන්විය හැකි ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේද ප්‍රේක්ෂක සහභාගිත්වය පැවතියේ ඉතා පහළ මට්ටමකය.
ඇතැම් මාධ්‍ය පවසන්නේ ප්‍රවේශපත් අළෙවිය අඩුවීමට වර්ෂාවද ප්‍රධාන ගැටලුවක් වී ඇති බවයි.
තරගාවලියේ වටයේ පළමු ඉන්දියා-පාකිස්තාන තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ප්‍රතිඵලයක් නොමැතිව තරගය අවලංගු විය.
කෙසේ නමුත් මේ වනවිට ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ 'සී' හා 'ඩී' මණ්ඩපයන්හි ඉහළ මහල (Cand D Upper) රුපියල් 1,000ක අගයකටත්, එහි පහළ මහල් රුපියල් 500ක් ලෙස මිල අඩු කර ඇත. මෙය ඉරිදා පැවති ඉන්දු - පාකිස්තාන තරගයේ සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරනු ලැබීය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (12දා) තරගය නැරඹීම සදහා පසුගිය දිනවලට සාපේක්ෂව ඉහළ ප්‍රේක්ෂක සහභාගිත්වයක් දැකගත හැකිවිය. කෙසේ නමුත් මෙම මිල අඩුකිරීම් අවසන් මහා තරගයට අදාළ නොවේ.
0 Comments