Indias-Samudrayan-mission-sends-three-men-6-km-to-the-bottom-of-the-ocean

චන්ද්‍රයා වෙත රෝවරයක් යැවීමට සිදුකළ 'චන්ද්‍රයාන්' මෙහෙයුම සහ සූර්යයා පිළිබඳ ගවේෂණය සදහා සිදුකළ ‛ආදිත්‍ය LI' මෙහෙයුමෙන් අනතුරුව ඉන්දියාව සාගර පතුලේ කිලෝමීටර් 6ක දුරක් ගවේෂණය සඳහා නවතම මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී, නවීන තාක්ෂණයෙන් සමන්විත කිමිදුම් යාත්‍රාවක් (submersible) යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදුකිරීම සැලසුම වී තිබේ. එම යාත්‍රාව මත්ස්‍ය 6000 (MATSYA 6000) ලෙස නම් කෙරී තිබේ. ඉන්දියාවේ පෘථිවි විද්‍යාව පිළිබඳ අමාත්‍යවරයා වන කිරෙන් ඊජිජු පසුගියදා මෙම මෙහෙයුම පිළිබඳව අනාවරණය කර තිබේ.

"මෙම සමුද්‍රයාන් මෙහෙයුම ඉන්දියාව සිදුකරන පළමුවැනි මිනිසුන් සහිත සාගර පතුල් මෙහෙයුමයි.

මෙහිදී, සාගර පතුලේ කිමිදිය හැකි යාත්‍රාවක් යොදා ගනිමින් මිනිසුන් තුන් දෙනෙකු කිලෝමීටර් 6ක් සාගර පතුල වෙත රැගෙන යාම සැලසුමයි.” ඔහු පවසා ඇත.

ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි සාගර තාක්ෂණය පිළිබද ජාතික ආයතනය මගින් මෙම කිමිදුම් යාත්‍රාව නිර්මාණය කර තිබේ. එක්වරකට පුද්ගලයන් තිදෙනෙකු රැගෙන යාහැකි ලෙස එය සකස් කර ඇතැයි පැවසෙයි. මෙම 'සමුද්‍රයාන් මෙහෙයුම හරහා සාගර පතුලේ ඇති සම්පත් පිළිබඳ සුවිශේෂී අධ්‍යයනයක් සිදුකිරීම සහ සාමුද්‍රීය ජෛවවිවිධත්වය පිළිබඳ ඇස්තමේන්තුවක් ලබාගැනීම අරමුණ බව ඉන්දියාව සඳහන් කරයි.

විශේෂයෙන්ම, මෙම 'සමුද්‍රයාන් මෙහෙයුම හරහා ඉන්දියාව අතිරේක ආර්ථිකමය වාසියක් ලබා ගැනීමත් අපේක්ෂාව වී තිබේ. එහිදී ඉන්දියාවේ 'නීල ආර්ථිකය’ වෙත මෙම මෙහෙයුම දායක කරගැනීම අරමුණ බව පැවසෙයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන හරහා ඉන්දියාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් සාගර සම්පත් තිරසාරව යොදාගැනීම සහ ඒ හරහා රැකියා උත්පාදනයත් සැලසුම වී තිබේ. එසේම සාගරික පරිසර පද්ධතීන්හි සෞඛ්‍ය සුරක්ෂිත කිරීමත් තවත් අදහසකි.