The-40-year-old-businessman-who-managed-to-write-an-essay-to-get-a-green-card-for-America

ඇමරිකාවේ ග්‍රීන් කාඩ් පතක් ලබා ගැනීමේ අරමුණින් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට එම විභාගය සමත් වූ 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකු පිළිබඳ පුවතක් මාතර නගරයෙන් වාර්තා වේ.

දින 18ක් වැනි කාලයක දී විභාගයට සූදානම් වී එම විභාගය සමත්ව ඇත්තේ මාතර උයන්වත්තේ පදිංචි නලින් දර්ශන වීරතුංග (40) මහතාය.

2002 වසරේ දී ප්‍රථම වරට උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් ඉදිරිපත් වී විෂයයන් දෙකක් පමණක් සමත්ව ඇති ඔහු යළි වසර 21කට පසු එම විභාගයට දෙවැනි වරට පෙනී සිට ඇත්තේ පුද්ගලික අයදුම්කරුවකු ලෙසනි.

ඒ කලා විෂය ධාරාවෙන්ය. මෙවර උසස් පෙළ විභාගයේ සිංහල හා මාධ්‍ය අධ්‍යයනය විෂයයත් සඳහා සී සාමාර්ථ ද දේශපාලන විද්‍යාව සදහා එස් සාමාර්ථයක් ද හිමි කර ගෙන ඔහු විභාගය සමත්ව ඇත.



මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වීරතුංග මහතා තිදරු පියෙකි. ඔහුගේ බිරිඳ මාතර මහ රෝහලේ වෛද්‍යවරියකි. පුතුන් දෙදෙනා රාහුල විද්‍යාලයේ ද දියණිය සුජාතා විද්‍යාලයේ ද ඉගෙනුම ලබයි.

මේ පිළිබඳ අදහස් දැක් වූ නලින් දර්ශන වීරතුංග මහතා මෙසේ පවසා සිටියේය.

"ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් පතක් ලබා ගන්න උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕන කියලා මට මගේ මිතුරෙක් කීවා. ඒ අනුව විභාගය ලියන්න බලද්දී අයදුම්පත් භාර ගන්නා දිනය අවසන් වී තිබුණා. මම ඒ බව මාගේ තවත් මිතුරෙකු වන සර්වේශස් විද්‍යාදලයේ නියෝජ්‍ය විදුහල්පති අරුණ ඉන්දික වීරසිංහ මහතාට කීවාම ඔහු මට කීවා විභාග දෙපාර්තමේන්තුවට ගිහින් උත්සාහ කරන්න කියලා.



ඒ අනුව මම විභාග දෙපාර්තමේන්තුවට ගිහින් මට මෙවර විභාගය පෙනී ඉන්න අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීමක් කළා. ඒ අනුව මට අවස්ථාව හිමි වුණා. ඒ වන විට විභාගයට ඉතිරි වෙලා තිබුණේ හරියටම දවස් 18යි. හරියටම දවස් 18 කින් මට මතක හැටියට සිංහල විෂය තිබුණේ. අනෙක් විෂයයන් වලට තව වැඩිපුර සතියක් දෙකක් තිබුණා. මම ඒ කාලය තුළ පොත් පත් පාඩම් කළා. දරුවන් සමගත් පාඩම් කළා. ගෙදරදොර හා දරුවන්ගේ වැඩ කටයුතුත් කළා. කඹුරුගමුව ඉස්කෝලේ තමයි මට විභාගය මධ්‍යස්ථානය ලෙස ලබා දී තිබුණේ. ඒ අනුව මම ජීවිතේට උසස් පෙළට හදාරපු නැති විෂයයන් තුනකට මුහුණ දීලා විභාගය සමත් වෙන්න පුලුවන්කම ලැබුණා. මම හිතනවා ග්‍රීන් කාඩ් නොලැබුණත් මගේ ජීවිතයේ මෙය ලබා ගත් ලොකු ජයග්‍රහණයක් කියලා”

- ක්‍රිෂාන් ජීවක ජයරුක්