යුද්ධය පැවති සමයේදී හමුදා කඳවුරු වලටත්, පොලිස් ස්ථාන වලටත් ගොස් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවීමට  මනෝ උපදේශන කටයුතු වල නිරතව සිටි ප්‍රකට මනෝ උපදේශකවරියක තලංගම පොලිස් වසමේ බත්තරමුල්ලේ නෙරළුඋයන ලැඟුම්හලකදී ගෙල කපා ඝාතනය කර තිබී ඊයේ හමුවිය.
සුජාතා මුණසිංහ මානාභරණ නමැති මෙම කාන්තාව පසුගිය 26 වෙනිදා සිට මෙම ලැගුම්හලට තවත් අයෙක් සමඟ පැමිණ නවාතැන් ගෙන සිට ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. ඇයත් එම පුද්ගලයාත් උදෑසන හෝටල් කාමරයෙන් පිටව ගොස් නැවත පැමිණෙනුයේ සවස් කාලයේදී බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. පෙරේදා (03) රාත්‍රී කාලයේද සුපුරුදු ලෙස හෝටල් කාමරයට පැමිණි ඔවුන්
දෙදෙනා නැවතත් ඊයේ (04) උදෑසන කාමරයෙන් පිටව නොයෑම හා කිසිදු ශබ්දයක් හෝ නොමැති බැවින් හෝටල් කාර්ය මණ්ඩලය ඒ ගැන කළ සොයා බැලීමේදී ඇගේ සිරුර කාමරයේ තිබී
හමු වී ඇති බව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතා සඳහන් කළේය.

ඇගේ ගෙලෙහි කැපුම් පහරවල් දෙකක් පමණ ඇති බවත් බොහෝ විට මෙම ඝාතනය පෙරේදා රාත්‍රී කාලයේදී හෝ ඊයේ අලුයම් කාලයේදී සිදුවී තිබෙන බවට සැක කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය. ඇගේ සිරුර හමුවන විට හෝටල් කාමරයේ ඇය සමඟ පසුගිය දිනවල ගත කළ පුද්ගලයා අතුරුදන්ව ඇති බව තලංගම පොලිසිය කියයි.

මෙම හෝටලයේ ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකර ඇතත් එය අක්‍රීයව තිබීම හේතුවෙන් එම පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගැනීමට අවට නිවාස හා ආයතනවල සවිකර ඇති ආරක්ෂක කැමරා දර්ශන මෙන්ම දුරකතන ජාල විශ්ලේෂණයක් සිදුකිරීමට ඊයේම පොලිසිය පියවර ගෙන තිබුණි.

ඇය සමඟ පෙරේදා (03) රාත්‍රි කාලයේ හෝටලයට පැමිණ පුද්ගලයා වරක් හෝටලයෙන් පිටතට ගොස් නැවත පැමිණ ඇති බවත් ඝාතනය සිදුව ඇත්තේ ඒ කාලය තුළ දී දැයි සැකයක් ද ඇති වී තිබේ. එම පුද්ගලයා නැවත හෝටලයෙන් පිටවී ගියේ කියටදැයි කියාවත් හෝටලයේ  අය නොදන්නා බව ද පොලිසිය කියයි. කාන්තාව ඝාතනය වී සිට ඇත්තේ කාමරයේ ඇඳ මත බවක් ඒ වන විටත් රුධිරය ගලාගෙන ගොස් ඇඳ රුධිරයෙන් තෙත්ව තිබී ඇත.



මෙම යුවළ හෝටලයට පැමිණෙන විට ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් හෝ අනන්‍යතාව සනාථ කරන කිසිවක් ඉදිරිපත් කර නැත. ඔවුන් ව්‍යාජ තොරුතුරු ලබා දී ඇති බවත් ඇය පදිංචි ස්ථානය සොයා ගැනීමට අවස්ථාවක් අහිමිවූ බවත් පොලිසිය කියයි. ඇය විසින් තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය ලෙස ලබා දී ඇත්තේ 1977 වසරේ උපන් අයෙකුගේ හැඳුනුම්පත් අංකයක් නමුත් කාන්තාව අවුරුදු 50 ඉක්මවූ තැනැත්තියක් බව ද පෙනී ගොස් තිබේ.

මෙම කාන්තාවගේ ගමන් මල්ලෙහි තිබී හපුතලේ ප්‍රදේශයේ ලැගුම්හලකට අයත් ලිපිනයක් ද හමුවී ඇත‍. එම ලැගුම්හලේ ද මෙම කාන්තාව පුද්ගලයෙක් සමඟ ඊට පෙර අවස්ථාවකදී නවාතැන් ගෙන සිට ඇති බව පෙනී ගොස් තිබේ. මෙසේ ඝාතනය වී සිටින කාන්තාවගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ ඇය 2003 වසරේ සිට මනෝ උපදේශිකාවක් ලෙස හමුදාවට සහ පොලිසියට උපදේශන ලබාදීමට ඉදිරිපත් වී සිටින්නියක් ලෙසිනි. ඇය පෙනී සිට ඇත්තේ යුරෝපීය රටක සේවය කර අපේ රටේ රණ විරුවන්ගේ චිත්ත ධෛර්ය නැංවීමට මෙරටට පැමිණ නොමිලයේ සේවය කරන බවය.

ඇය උතුරු සහ නැඟෙනහිරත් දකුණෙත් හමුදා කඳවුරු වලට ගොස් උපදේශන සේවා සපයන්නට වූ තැනැත්තියකි. 2005 වසරින් පසු ඇය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියක් ඇතිව මෙම කටයුත්තට මුල පුරා තිබුණාය.
සොල් ල්දාදුවන්ට අමතරව හමුදාවේත්, පොලිසියේත් උසස් නිලධාරීන්ට පුද්ගලිකවම ඇය මුණ ගැසෙමින් උපදේශන සේවා සපයනු ලබා ඇත. හිටපු පොලිස්පතිවරයෙකුට පවා ඇය දීර්ඝ කාල යක් තිස්සේ උපදේශනය ලබා දී තිබේ.
ඇය විසින් උපදේශන සේවා සැපයීමට ගමන් කරනු ලබන්නේ ඇයට වඩා වසර 10 ක් පමණ බාල තරුණයෙකු සමඟිනි. ඔවුන් දෙදෙනා උපදේශන සේවා ලබාදීමට යාමේ දී ඔවුන්ට රට වටේම හෝටල් වල නවාතැන් ගෙන මුදල් නොගෙවා යාම් පිළිබඳව එකල තොරතුරු වාර්තා වී තිබුණි. එම හෝටල් වලට ඔවුන් පවසා ඇත්තේ අදාළ පොලිසියෙන් හෝ කඳවුරෙන් මුදල් ලබා ගන්නා ලෙසය.

මෙම කාන්තාව එකල ඇගේ සහයකයා යැයි කී තරුණයා සමඟ පෙනී සිට ඇත්තේ ශ්‍රී ලංකා රජයේ උපදේශන සේවා සපයන නියෝජිතවරියක් ලෙසිනි. පොලිසිය පවා මේ නිසා ඇයට බියක් දක්වා ඇත. ඇගේ මෙම ක්‍රියාව එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්වත් වීමෙන් අනතුරුව ඇයට හමුදා කඳවුරු වලට ඇතුළු වීම ද තහනම් කර තිබී ඇත.



මෙම කාන්තාවගේ සහයකයා යැයි කී පුද්ගලයා මෙයට වසර 10කට පමණ පෙර කොළඹ පුරහල ප්‍රදේශයේ පිහිටි සන්නිවේදන කුලුනක් මත නැඟී උද්ඝෝෂණයක් ද කරනු ලැබීය. ඒ ඇය තමාව විවාහ කර ගන්නා බවට පොරොන්දුවක් දී තමාව මඟහැරිය බව කියමිනි. එම සිදුවීමෙන් අනතුරුව ඇය ගැන නැවත සමාජය හමුවේ යම් කතාබහක් ඇතිවන්නේ ඇගේ සිරුර තලංගම හෝටල් කාමරයෙන් හමුවීමත් සමඟිනි.

එම කාමරයේ තිබී ඇය හමුදා කඳවුරුවලට ගොස් උපදේශනයන් පැවැත්වීම් සම්බන්ධයෙන් පළවී තිබුණු මාධ්‍ය වාර්තා කිහිපයක් ද තිබී ඇත. ඇගේ අනන්‍යතාවය පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ ඒ ඔස්සේය. එහෙත් ඇය නිශ්චිතවම පදිංචිව සිටින ස්ථානයක් මෙතෙක් සොයාගෙන නැත.

මේ අතර ඇයගේ කාමරයේ තිබී පිටු කිහිපයකින් යුතු ලිපියක් හමුව තිබෙන අතර එහි සඳහන් වන්නේ ඝාතනය සිදුකරේ ඇයගේ ස්වාමි පුරුෂයා වන තමා යයි කියමින් ලියූ සටහනකි. තමා මෙම ඝාතනය සිදු කර සියදිවිනසාගන්නා බවද එහි සටහන් කර තිබේ.
මෙය සත්‍ය සටහනක්ද නැද්ද යන්න ගැන පොලිසියට සැක මතුව තිබේ.
වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

සිද්ධියට සම්බන්ධ පෙර විස්තරය
මනෝ උපදේශිකා සුජාතා මානාභරණ තලංගම ලැගුම් හලේදී අභිරහස් ලෙස ඝාතනයවේ