Carve-letters-on-the-motorcycle-by-lifting-a-bell-on-the-bike

දිගු කලක් පාපැදියෙන් ගොස් ලියුම් බෙදු ගම්බද ප්‍රදේශයක සේවය කළ තැපැල් පියුන් මහත්මයකු ඉතා අමාරුවෙන් මිලදී ගත් අලුත්ම අලුත්
යතුරුපැදියට මළකඩ කෑ  පාපැදි බෙල් එකක් සවිකර ගැනීමට සිදුවූ පුවතක් මොර සමග ගලක් යන අරුත් දෙන නමක් ඇති දකුණේ ප්‍රදේශයකින් වාර්තා වේ. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

ඔහු ඉතා කාරුණික ලියුම් බෙදන්නකු වූ අතර එකම කාර්යාලයක ඉතා දිගු කලක් සේවය කිරීමට තරම් වාසනාවන්ත වූයේය. එකම ප්‍රදේශයේ සේවය කිරිම නිසා ප්‍රදේශයේ ජනතාව සමග සමීප සබඳතාවකින් සේවය කිරීමට හැකි වූ අතර ජනතාවද ඔහුට අයියේ මල්ලී මාමේ ආදී වශයෙන් ආමන්ත්‍රණය කිරීමට පුරුදුව සිටියහ.

ප්‍රදේශයේ මගුල් තුලා ආදියට පවා මොහුට ආරාධනා ලැබෙන අතර ඒ සියලුම අවස්ථා වලටද ඔහු සහභාගි වූයේය. එබැවින් මෙම ප්‍රදේශයේ ජනතාව ඔහුට ගහට පොත්ත මෙන් විය.

කෙසේ වුවද මැදිවියට පත්වන විට රෝගාබාධවලට ලක්ව මහන්සි ගතියක් දැනෙන්නට වූ නිසා පාපැදියට ආයුබෝවන් කීමට සිතූ ඔහු බැංකු ණය මුදලක්ද ලබාගෙන යතුරුපැදියක් මිලදී ගත්තේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිවය. බයිසිකලය මිලදී ගෙන ඔහු එදා ලියුම් බෙදීමට නමෝ විත්තියෙන් දෙවියන් සිහිකර පිටත් වූයේ ලියුම් මිටියද හැඬලය මත තබාගෙන මහත් උජාරුවෙනි.වෙනත් දින වලදී පාපැදියෙන් ගොස් එක්වර බෙල් කරන විට නිවැසියන් කවුරුන් හෝ දිව එන්නේ ඉද්දගැසුවාක් මෙනි. එදින කොතෙක් නළාව ශබ්ද කළද කිසිවකු නොපැමිණියෙන් මහත්සේ අපහසුවට පත්වූ ඔහු ගේට්ටුවලට හා දොරවල්වලට තඩිබාමින් ලියුම් මිටිය බෙදා අවසන් කර නිවසට එන විට බොහෝ සවස් වී තිබුණි.



වෙනත් දිනවලදී වේලාසන නිවසට එන සැමියා ඉක්මනින් කටයුතු කිරීම සඳහා යතුරුපැදියේ ගොස් මෙසේ ප්‍රමාද වන විට බිරිඳ මහත් සේ බියට පත්ව සිටියාය. ඒ ගැන විමසූ විට ඔහු බිරිඳට සිද්ධිය පැවසුවේ දැන් කුමක් කරන්නේදැයි මහත් සංවේගයකින් කල්පනා කරන බවයි. එවිට බිරිඳ කදිම අදහසක් යෝජනා කළාය. ඔයා බයිසිකල් එකේ බෙල් එක ගලවල මෝටර් සයිකලේ සවිකරල ගෙවල් ළඟට ගිහින් ඉන්ජිම නවත්වල බෙල් කරන්න. මිනිස්සු දුවගෙන ඒවි යනුවෙන් පැවසුවාය. ඔහු අකමැත්තෙන් වුවද කබල් බයිසිකලයේ තිබූ මළ බැඳුණු බෙල් එක ගලවා මෝටර් සයිකලයේ සවිකර බිරිඳ පැවසූ ආකාරයට බෙල් කරන විටම සුපුරුදු සේ කටයුතු සිදු විය. සිද්ධිය දැනගත් හිතවතුන් කොහොමද? හැඳිමිටේ නුවණ යනුවෙන් පවසා පාපැදි යතුරුපැදි පියුම් මහත්මයා යනුවෙන් නමකුත් පට බැඳලාලු.

ධර්මදාස පිරිවර්ධන