Even-the-dogs-are-sickened-by-the-scum-of-the-irrigation-system-and-the-salmon-factory

ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය නොමැතිව නීති විරෝධී ආකාරයට පවත්වාගෙන ගිය පාරිභෝජනයට නුසුදුසු සැමන් ටින් මාළු නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වාරියපොළ කටුපොත ප්‍රදේශයේදී වටලනු ලැබූහ. මෙම කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කර වෙළඳසලක අලෙවියට තබා තිබූ සැමන් ටින් දෙකක් මිලදී ගත් කුරුණෑගල ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැමිණිල්ල කට අනුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කර ඇත. මිලදී ගත් එක් සැමන් ටින් එකක් කඩා බැලීමේදී ඉන් දුර්ගන්ධයක් සමඟ සැර සුවඳක් වහනය වූ බව ද එහිදී ඇති වූ සැකය මත නිවසේ ඇති දැඩි කරන සුනඛයාට ඉන් කොටසක් ආහාරය පිණිස ලබා දීමෙන් පසුව සුනඛයා රෝගී තත්ත්වකට පත්වූ බව ද මාධ්‍යවේදි මහතා ප්‍රකාශ කළේය.

මෙම සැමන් වර්ගයේ ඇතිව තිබූ ගැටලු රැසක් හේතුවෙන් පාරිභෝගිකයන් බොහෝ දෙනෙකු ඒවා ආපසු වෙළඳසල් වෙත බාරදී ඇති බවද වාර්තාවේ.

නිෂ්පාදිත දිනයේ සිට වසර දෙකක කාලයකට එම නිෂ්පාදනය පාරිභෝජනයට සුදුසු බව සැමන් ටින්වල මුද්‍රිතව තිබුණ ද වෙළඳසල් වෙත ලබාදී මාසයක් ගතවීමටත් පෙර ඒවා ආහාරයට නුසුදුසු තත්ත්වයක තිබූ බවට පාරිභෝගිකයන් පැමිණිලි කර තිබූ බව ද වාර්තාවේ.
එම වැටලීමේදී පරිභෝජනයට නුසුදුසු ආකාරයට නිෂ්පාදනය කළ සැමන් ටින් විශාල ප්‍රමාණයක් අධිකාරිය බාරයට ගෙන ඇත. රජයේ පිළිගත් ප්‍රමිති සහතිකය නොමැතිව පිළිගත් නිෂ්පාදන ක්‍රමවේදයෙන් තොරව පවත්වාගෙන යමින්

තිබෙන මෙම සැමන් කම්හලේ නියම හිමිකරු වාරියපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු බව ද අනාවරණය වී ඇත. ඔහු වෙනත් අයෙකුගේ නම යොදා ගනිමින් මෙම ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බවද අනාවරණය කරගෙන ඇති බවද පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.



සැමන් නිෂ්පාදනය සඳහා සුදුසුකම් සහිත පළපුරුදු සේවකයන්ද නොමැතිව ඒ සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් හෝ කිසිවක් නොමැතිව මෙම සැමන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබෙන බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහූ සඳහන් කළහ.

රජයේ ප්‍රමිති සහතිකය ලබා ගන්නා තෙක් මෙහි සැමන් නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට නියම කළ පාරිභෝගික සේවා අධිකාරිය එහි හිමිකාරිත්වයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සඳහන් කළේය.