An-interim-ban-on-2-letters-sent-to-sand-mining-in-excess-of-provincial-council-powers

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පළාත් සභාවට දී ඇති බලතල ඉක්මවා යමින් මධ්‍යම ආණ්ඩුව සතු වැලි කැණීමේ කටයුත්තකට මැදිහත් වෙමින් නැඟෙනහිර පළාත ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් නිකුත් කළ ලිපි දෙකක් අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝග දෙකක් නිකුත් කළේය.

එසේම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට මැදිහත් වීම හෝ බාධා කිරීමෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වළක්වන අතුරු නියෝගයක් ද නිකුත් කරන ලදි. නැඟෙනහිර ආණ්ඩුකාරවරයා විසින් සිය කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත් වන බවට පැමිණිලි කරමින් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය මේ අතුරු නියෝග නිකුත් කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතා හමුවේ මේ පෙත්සම කැඳවන ලදි.



එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ රටේ වැලි ඇතුළු ඉහළ මට්ටමේ වටිනාකම් සහිත ඛනිජ සම්පත් සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීම, කැණීම් සිදු කිරීම, ගවේෂණය සිදු කිරීම ආදියෙහි බලය භූ විද්‍යා හා පතල් කාර්යාංශය සතු වන බවයි. ඒ අනුව වැලි කැණීම සඳහා සුදුසු වර්ග කිලෝමීටර් 13ක බිම් ප්‍රදේශයක් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් අදාළ කාර්යාංශය මඟින් හඳුනාගෙන ඇති බව ඒ මහතා සඳහන් කළේය. එම ප්‍රදේශයේ වැලි කැණීමේ කටයුතු පෞද්ගලික සමාගමක් සමඟ එකතුව වසර දෙකක කොන්තරාත්තුවක් යටතේ සිදු කිරීමට කටයුතු කළ බව ද ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේය.

එසේ තිබියදී ඉකුත් මාර්තු මස 16 දා ලිපියක් නිකුත් කරමින් නැඟෙනහිර ආණ්ඩුකාරවරයා විසින් අදාළ කටයුත්ත අත්හිටුවීමට කටයුතු කරන ලෙස දන්වා ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. පළාත් ඛනිජ ඇගයීම් කමිටුව මගින් අවසර දෙන තෙක් එම වැලි කැණීම් කටයුතු අත්හිටුවන ලෙස නැඟෙනහිර ආණ්ඩුකාරවරයා විසින් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට දන්වා ඇති බව ඒ මහතා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අනුව ඛනිජ සම්පත් සම්බන්ධයෙන් වන බලය පළාත් සභාව සතු නොවන අතර, එම සම්පූර්ණ බලය මධ්‍යම ආණ්ඩුව සතු වන අතර සතු වන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. මධ්‍යම ආණ්ඩුව සතු එම බලතල භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.



මෙලෙස තමන්ට අදාළ නොවන කටයුත්තකට මැදිහත් වීමට තමාගේ බලය ඉක්මවා යමින් නැඟෙනහිර ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇති අතර, ඔහු ඒ සම්බන්ධයෙන් නිකුත් කළ කර ඇති ලිපි බල රහිත කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාල වැලි කැණීම් අත්හිටුවන ලෙස දන්වමි නැගෙනහිර ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර ඇති ලිපි දෙකක් ක්‍රියාත්මක වීම දින දාහතරකට අත්හිටුවමින් අතුරු තහනම් නියෝග දෙකක් නිකුත් කළේය.

එසේම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සහ එහි බලය ලත් නියෝජිතයන් සිදු කරන කටයුතුවලට මැදිහත් වීම හෝ බාධා කිරීම සිදු කිරීම අත්හිටුවමින්ද නැඟෙනහිර ආණ්ඩුකාරවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදි. මේ පෙත්සම සැප්තැම්බර් මස 13 දා නැවත කැඳවීමට තීරණය කෙරිණි. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සහ නීතිඥ පුලස්ති රූපසිංහ මහතා පෙත්සම්කාර ආයතන වෙනුවෙන් පෙනී සිටියහ.

නෙල්කා මැදගෙදර