A-barrage-of-bullets-in-Avissawella-an-underworld-attack-more-details-on-the-two-dead

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු අවිස්සාවේල්ල තල්දූව ඉහළමංකඩ හන්දියේ දී පෙරේදා (21) මධ්‍යම රාත්‍රියේදී ත්‍රිරෝද රථයකට දිගට හරහට එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු මියගොස් ඇති අතර දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි. බරපතළ තුවාල ලැබූ දෙදෙනා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයකුගේ තත්වය අසාධ්‍ය බව අවිස්සාවේල්ල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. මෙසේ වෙඩි කා මිය ගොස් ඇත්තේ, තල්දූව පරණ අවිස්සාවේල්ල පාරේ පදිංචිව සිටි 36 හැවිරිදි ඩබ්ලිව්. ධනුෂ්ක ප්‍රේමලාල් සහ තල්දූව දන්ගල්ල පාරේ පදිංචිව සිටි 27 හැවිරිදි එච්.ජී.අයි. මධුෂාන් නමැති දෙදෙනෙකි.



ඔවුන් සිවුදෙනා ප්‍රදේශයේ පැවති මළ ගෙදරකට ගොස් ආපසු එමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇතැයි පොලිසිය කියයි.යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු අතරින් පිටුපස අසුනේ වාඩිවී සිටි පුද්ගලයා ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියකින් එහි ජීව උණ්ඩ සියල්ල අවසන් වනතෙක්ම දිගට හරහට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.ත්‍රී රෝද රථය පදවාගෙන ගිය පුද්ගලයාට වෙඩි වැදුණු පසු ඔහුගේ පාලනයෙන් ගිලිහුණු ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වෙළෙඳසැලක බැම්මක වැදී නතර වී ඇත.වෙඩි වැදී තුවාල ලබා සිටි අවන්ත නමැත්තකු මළගෙදර සිටි ඔහුගේ හිතවතකුට ජංගම දුරකථනයෙන් කතා කර සිද්ධිය දැනුම් දීමෙන් පසු එහි සිටි පිරිසක් පැමිණ වෙඩි කා සිටි සිවු දෙනාම රෝහලට රැගෙන ගොස් ඇතැයි කියති.

ඉන් දෙදෙනකු රෝහලේදී මියගිය බව පොලිසිය කියයි.පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ අවට පොලිස් ස්ථානවලින් ගෙන්වන ලද 200කගෙන් පමණ සමන්විත විශේෂ පොලිස් බලඇණියක් පලාගිය ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන මන්නා රමේෂ් නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන මෙම මන්නා රමේෂ් නැමැත්තාගේ සහෝදරයකුට අවන්ත නමැත්තාගේ සහෝදරයෙකු වන පොඩ්ඩා නමින් හැඳින්වෙන අයකු පොල්ලකින් පහර දීමෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව සිටින බව පොලීසිය කියයි.මෙම අවන්ත නමැත්තා ද සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන මන්නා රමේෂ් නමැත්තාගේ සහෝදරයාට පහරදීමට සම්බන්ධ යැයි සැක කර ඔහු ඝාතනය කිරීමේ අරමුණෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.මෙම අවන්ත නමැත්තාට පසුගිය මැයි මස26 තල්දූව හන්දියේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ජීවිතය බේරාගෙන ඇතැයි පොලිසිය කියයි. අවන්ත නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයා අවිස්සාවේල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ් භාරයේ පසුවන බව පොලීසිය කියයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය