නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් DT’පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ ආදායම් බදු ගෙවීම් කිරීම සම්බන්ධ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඊයේ (12) නියෝග කළේය.මෙම ‘ඔන්මැක්ස් ඩීටී' පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් රජයට ආදායම් බදු ගෙවීම සිදුකරන්නේදැයි යන්න සම්බන්ධයෙන් වාර්තා කැඳවිය යුතුව ඇති බැවින්, ඒ සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.



ඒ අනුව ‘ඔන්මැක්ස් ඩීටී' පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සම්පත් සඳරුවන්, කහඳව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ජයාන් ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ ආදායම් බදු වාර්තා අධිකරණයට ලබා දෙන ලෙසට මෙම නියෝගය නිකුත් කෙරිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (70828) කරුණාතිලක, පොලිස් කොස්තාපල් (31223) අනුරාධ යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

‘ඔන්මැක්ස් ඩීටී’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හය දෙනකුගේ බැංකු ගිණුම් වල ඉකුත් මාර්තු මස 21 වැනි දින වන විට රුපියල් හැත්තෑ නව කෝටි හය ලක්ෂ දහඅට දහස් පනහක මුදලක් මුදලක් (790,618,050) තැන්පත්ව ඇති බවත් ඉන් වැඩිම මුදල වූ රුපියල් පනස් පන්කෝටි අසූ නවලක්ෂ හතළිස් එක්දහස් හයසිය පනස් හතක මුදලක් (558,941,657.12) එම සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් නමැත්තාගේ බැංකු ගිණුම් 16ක තැන්පත්ව ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් නඩු දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම ගිණුම් හිමි ‘ඔන්මැක්ස් ඩීටී’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද ඉකුත් දා අධිකරණයෙන් ඉකුත් නිකුත් කෙරිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසිනි. බැංකු පනතේ 83 අ (1) වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 5 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වැනි වගන්තියට අනුව මෙම අයවලුන් සිදුකර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ‘ඔන්මැක්ස් ඩීටී’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20 ක් පැවරීම සහ විකිණීම නැවත දැනුම් දෙනතුරු තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් සිවු දෙනකුට නියෝගයක් නිකුත් කළේ ඉකුත් 04 වැනිදාය.
නිමන්ති රණසිංහ