A-scientist-cheated-a-businessman-to-50-lakhs-that-his-business-failed-because-of-his-wife

මාස කිහිපයක සිට අඩාළ වී ගෙන යන ව්‍යාපාර කටයුතු යළි වැඩි දියුණු කර ගැනීම සඳහා ශාන්ති කර්මයක් කිරීමට පැමිණ ව්‍යාපාරිකයකු රවටා රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මැණික් ගල් කිහිපයක් වංචනික ලෙස ලබාගත් බව කියන කට්ටඩියා ලෙස සැලකෙන පුද්ගලයෙක් හලාවත මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගනු ලැබීය. සොරාගන්නා ලද රන් භාණ්ඩ ප්‍රමාණය පවුම් 30ක් පමණ වන බව ව්‍යාපාරිකයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත ස්වරාණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සිද්ධියට හවුල් වූ බව කියන තවත් පුද්ගලයකු ද අත්අඩංගුවට ගැනීමට ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු මත කට්ටඬියා යැයි පැවසෙන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික කටයුතු මාස 4ක පමණ සිට අඩාළ වී ගෙන යන බවටත් එසේ සිදුවන්නේ කිසියම් අමනුෂ්‍ය දෝෂයක් නිසා බවටත් විශ්වාස කර ඔහු සිය මිතුරකුට ඒ බව දැනුම් දී ඇත.

මිතුරා ඔහුට කට්ටඬියකු ලෙස සැලකෙන මෙම පුද්ගලයා හඳුන්වා දී ඇති අතර ඔහු ව්‍යාපාරිකයාගේ නිවසට රාත්‍රී කාලයේ පැමිණ ව්‍යාපාරිකයා, ඔහුගේ බිරිය සහ දරුවන් කාමරයකට දමා දොරගුලු දමා නිවසේ දල්වා තිබූ සියලුම විදුලි පහන් නිවා දමා ශාන්ති කර්මයක් (සාත්තුවක්) සිදු කර ඇති බව පොලීසිය කියයි. ව්‍යාපාර කටයුතු දිනෙන් දින අඩාළ වන්නේ ව්‍යාපාරිකයාගේ වරදකින් නොව ඔහුගේ බිරියගේ ඇති යම් දෝෂයක් නිසා බව කට්ටඬියා ව්‍යාපාරිකයාට දැනුම් දී ඇති අතර ඒ සඳහා ශාන්ති කර්මයක් සිදු කළ යුතු බව පවසා ඇත.ඊට අවශ්‍ය කළමනා වශයෙන් පවුම් තිහක් බර රන් ආභරණ මැණික් ගල් කිහිපයක් කිලෝ දෙකක් බර මුහුදු වැලි සහ බිරියගේ හිස කෙස් කිහිපයක් ද අවශ්‍ය බව කට්ටඬියා දැනුම් දී ඇතැයි පොලීසිය පවසයි.



මේවා සියල්ල රැගෙන හලාවත මයික්කුලම ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලක් වෙත පැමිණෙන ලෙස ද ව්‍යාපාරිකයාට කළ දැනුම් දීමක් අනුව එම ව්‍යාපාරිකයා කට්ටඬියා පැවසූ සියල්ල ද රැගෙන එහි ගොස් ඇත.ශාන්තිකර්මය කිරීමට කලින් ව්‍යාපාරිකයා රැගෙන ආ රන් භාණ්ඩ ඉලෙක්ට්‍රොනික් තරාදියකින් කිරා බලා එහි තිබෙන්නේ පවුම් විසි දෙකක් පමණක් යයි කියා පවුම් 30ක් බර සිටින ආකාරයට රන් භාණ්ඩ රැගෙන එන ලෙසට ව්‍යාපාරිකයාට දැනුම් දී ඇත.

ඒ අනුව ව්‍යාපාරිකයා නිවෙසට ගොස් එම බරට සරිලන ලෙස රන් භාණ්ඩ රැගෙනවිත් කට්ටඬියාට බාර දී ඇතැයි පොලිසිය කියයි.කට්ටඬියා ලැගුම්හලේ කාමරයකට ඒවා සියල්ල රැගෙන ගොස් රන් ආභරණ සහ මැණික් ගල් කිහිපය මුහුදු වැලි සමග කලවම් කර සියලු දොස් නැති වීමට යයි කියමින් ඒවාට ජපකර බෑගයක දමා ව්‍යාපාරිකයාට ලබා දී නිවසට ගොස් විවෘත කරන ලෙස දැනුම් දී ඇතැයි කියති.ව්‍යාපාරිකයා මෙය රැගෙන ගොස් බිරියට බාරදීමෙන් පසු ඇය එය විවෘත කර බලා ඇති අතර මුහුදු වැලි සහ එක් ගලක් පමණක් එහි තිබෙනු දැක ඒ බව සැමියාට දැනුම් දී ඇත.



ව්‍යාපාරිකයා කට්ටඩියාගේ ජංගම දුරකථන අංකයට අවස්ථා ගණනාවක දී කතාකර ඇතත් ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නොමැති නිසා තමා වංචාකරුවෙකුට හසුවී ඇති බව පෙනී ගිය බැවින් ඒ පිළිබඳව හලාවත පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය පරීක්ෂණ පවත්වා එම කට්ටඩියා යැයි පැවසෙන පුද්ගලයා සැකපිට ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහු වංචාවෙන් ලබාගත් රන් භාණ්ඩ තොගය කන්තලේ ප්‍රදේශයේ අයකුට විකුණා ඇති බවට හෙළි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.හලාවත මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වර්ණසූරිය මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මෙම රන් භාණ්ඩ සොයා ගැනීමට කන්තලේ ප්‍රදේශයේ බලා ඊයේ (13) පිටත්ව ගොස් ඇත.


 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය