The-12-year-old-student-committed-suicide-saying-that-she-was-cursed-by-her-dead-grandmother

මීට කලකට ඉහතදී මියගිය ආච්චි අම්මාගේ ඇල්ම බැල්ම ඇති බවට විශ්වාස කළ බව කියන දොළොස් හැවිරිදි පාසල් සිසුවියක පාසලේදී සිසුවියන් පිරිසක් බියට පත්කර නිවසට පැමිණ සිය දිවි නසාගෙන ඇතැයි පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පෑලියගොඩ පොලිස් වසමේ පදිංචි 8 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකි.

පාසල අවසන් වී ඉකුත් 7 වැනිදා නිවසට පැමිණි පසු නිදන කාමරයේදී ඇය මෙසේ සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය කියයි.

සිසුවිය විසින් ඇයගේ මවට සහ පියාට ලියන ලද ලිපියක් ද පොලිසියට හමුවී ඇත.

සිසුවිය වැනිදා පහුගිය7 පාසලේ දී සිසුවියන් පිරිසක් බියට පත් කළේ යැයි කියමින් එම සිසුවියන් ඒ පිළිබඳව පන්තිභාර ගුරුවරියට දැනුම් දී ඇතැයි පොලිසිය සඳහන් කරයි. පන්තිභාර ගුරුවරිය ඒ බව ඇයගේ මවට දුරකතනයෙන් දැනුම් දී ඇතැයි ද පොලිසිය කියයි.

තමන්ගේ මියගිය (දැරියගේ ආච්චි අම්මා) 12 හැවිරිදි දියණියට වරින් වර ආරූඪ වන බැවින් ශාන්තිකර්ම කිරීමෙන් අනතුරුව ඇය සුවය ලැබූ බව දැරියගේ මව පවසන්නේ යැයි පොලිසිය පවසයි.

අද්භූත බලවේගයක් ඇතැයි සිතා හටගත් බව කියන මානසික ව්‍යාකූල තත්ත්වය මත බාලවයස්කාර සිසුවිය මෙසේ කරගෙන ඇති බව පරීක්ෂණවලින් පෙනී ගියේ යැයි පොලිසිය කියයි.



 මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ දී පෙරේදා (09) සිදුකෙරිණි.

මෙය සියදිවි නසා ගැනීමක් බවට එහිදී තීරණය ඇතැයි පොලිසිය කියයි.

මියගිය අයකුට හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේගයකට ජීවත්ව සිටින අයකුගේ සිරුරට ඇතුළු වී බලපෑම් කරන්න කිසිසේත්ම බැහැ. මියගිය කෙනකු හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් තම සිරුරට ඇතුළු වී බලපෑම් කරන බව පවසනවා නම් එවැනි අයකුට වහාම මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු වෙනවා. එසේ නොමැතිව බලිතොවිල් වැනි ශාන්තිකර්මවලට යොමුවීම නිෂ්ඵල කරුණක් යැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පැවැසීය.

මියගිය තම ආච්චිඅම්මා සිරුරට ඇතුළු වී බලපෑම් කරන බව සඳහන් වූ 12 හැවිරිදි පාසල් සිසුවියක අවසානයේ සිය දිවි නසා ගැනීම ගැන කරුණු විමසූ අවස්ථාවේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා එසේ කීවේය.

විශේෂඥ වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් කරුණු ගෙන හැර දක්වමින් වැඩි දුරටත් මෙසේද පැවසීය.

ආවේශ වීම අපේ සමාජයේ බහුලව දක්නට තිබෙන දෙයක්.

මේ ආවේශය වීමෙන් මියගිය අය විදිහට හැසිරෙනවා. තවත් සමහරු මියගිය කෙනා විදිහට කතා බස් පවා කරනවා. මෙවැනි අය දිහා බලන් ඉන්න අයට තේරුම් යන්නේ මියගිය කෙනෙක් සිරුරට ඇතුළු වී ජීවත්ව සිටින කෙනා පාලනය කරන බවයි. නමුත් ඇත්තෙන්ම සිදුවන්නේ එවැනි ක්‍රියාවක් නොවේ. සිදුවන්නේ ඒ කෙනාගේ යටි හිත අවදිවීම. යටි හිතේ තිබෙන යම් ගැටලුකාරී තත්ත්වයක්. ඒ බව තමයි මේ මගින් පෙන්නුම් කරන්නේ.

උදාහරණයක් වශයෙන් ගත්තොත් කාටවත් කියන්න බැරි යම් මානසික පීඩාකාරී තත්ත්වයකින් ඉන්න අවස්ථාවක මියගිය කෙනකුගේ ආත්මය ඇතුළු වී ඇති බව කියමින් ඔහුගේ හෝ ඇයගේ එම ගැටලුව පෙන්නුම් කිරීමට පුළුවනි. දීර්ඝ කාලීනව පවතින විශාද තත්ත්වයන් මේ සඳහා බලපාන්න පුළුවනි. ඒ විතරක් නොවේ අධ්‍යාපනික ගැටලු පවුල් ගැටලු මේ සඳහා බලපාන්න පුළුවන්කම තිබෙනවා. ප්‍රේම සම්බන්ධතා පිළිබඳ පීඩන තත්ත්වයන් ද මේ සඳහා බලපෑමට හැකියාව තිබෙන බව පැවසිය යුතුයි.

මෙන්න මේ වගේ ගැටලු සහ පීඩාකාරී තත්ත්වයන් මිය ගිය කෙනෙකු සිරුරට ආවේශ වීමෙන් සිදුවන බව පවසමින් ප්‍රකාශ කරන්න පුළුවනි. එවැනි අය මියගිය කෙනා විදියට හැසිරෙනවා. කතාබස් කරනවා.



ඇතැමුන්ට ශාන්තිකර්මයක් කළාට පස්සෙ එවැනි තත්ත්වයන් තාවකාලිකව මග හැරී යන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් එතැන තිබෙන ගැටලුව වන්නේ ආවේශ වීම එහෙමත් නැත්නම් ආරූඪවීම නතර වුවත් ඒ සඳහා බලපෑ හේතු ඒ විදිහටම තිබෙනවා. ඒ නිසා එයින් මතුවන ගැටලුව වෙනත් ආකාරයකට යළි මතුවීමට ඉඩකඩ බෙහෙවින්ම වැඩි බව පැවසිය යුතුයි. විශාද තත්ත්වයක් නිසා ආරූඪ වීම එහෙමත් නැත්නම් ආවේශ වීම ඇති වී තිබෙනවා නම් ඒ මානසික පීඩාව තවත් උග්‍ර වී මතු වීමට වීමට ඇති ඉඩකඩ වැඩි බව පැවසිය යුතුයි. ඒ විතරක් නොවේ වෙනත් මානසික රෝග පවා ඇති වීමට පුළුවනි. ඒ නිසා මානසික ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු යැයි විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය