රජයට විශාල බදු මුදලක් අහිමි කරමින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් නවීන පන්නයේ අධිසුඛෝපභෝගී ජීප් රථයක්, ව්‍යාජ ලේඛන සකස්කර අලෙවි කිරීමට කුරුණෑගල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ සඟවා තිබියදී පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ ඇත.2020 වසරේ ජපානයේ නිෂ්පාදිත මෙම සුඛෝපභෝගී ජිප් රථය ව්‍යාජ ලේඛන සකස් කර මෙරටට ගෙන්වා ඇත්තේ, කොළඹ ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ වෛද්‍යවරයකු බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන තිබේ.
සුඛෝපභෝගී ජීප් රථයක් රුපියල් කෝටි 4කට අලෙවි කිරීමට සූදානමින් සිටින බවට හා එහි කිසියම් වංචාවක් ඇති බවට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්යක්ෂවරයාට ලද බුද්ධි තොරතුරකට අනුව, නිලධාරින් කුරුණෑගල නගරයේ සති කිහිපයක් ආවේක්ෂණ රාජකාරියේ යෙදී සිට එම වාහනය ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර වෛද්‍යවරයා මෙම මෝටර් රථය අලෙවි කිරීම සඳහා කුරුණෑගල ප්‍රදේශයේ තවත් කෝටිපති ව්‍යාපාරිකයකුට ලබාදී ඇති අතර, ඔහු එම වාහනය කුරුණෑගල නගරයේ පදිංචි තවත් කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ සඟවා තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වාහනයේ මුල් අයිතිකරු වශයෙන් රථය ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර ඇත්තේ වෙනත් ව්‍යාපාරිකයකුගේ නමින් බවත්, පොලිස් නිලධාරීන් එම ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කිරීමේදී මේ ආකාරයේ වාහනයක් තමන් සතුව නොමැති බවට ප්‍රකාශ කර ඇත.මෙම වාහනයේ දෙවන අයිතිකරු වශයෙන් බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු නම ලියාපදිංචි කර ඇති බවත්, මෙම වාහනය ඔහුගේ ද යන්න හෙළිකර ගැනීම සඳහා ඔහුගෙන් ද ප්‍රකාශ සටහන් කරගන්නා බව පොලිසිය කියයි.
මෙම වාහනය සම්බන්ධයෙන් පැවැති ලිපි ලේඛන සහ ආදායම් බදු ගෙවූ බවට සඳහන් ලිපි ලේඛන රැසක්ම ව්‍යාජ බවද පොලිසිය පවසයි.සැකකාර වෛද්‍යවරයා රේගුවේ රේගුවේ කිසිවකුගේ සහායෙන් රජයට විශාල බදු මුදලක් අහිමි කරමින් කූඨ ලේඛන සකස් කර මෙම මෝටර් රථය මෙරටට ගෙන්වා ඇති බවත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කිසිවකුගේ සහායෙන් එය වෙනත් අයගේ නම්වලින් ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇති බවට සැකකරන බවත්, ඒ අනුව මෙම සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි.
ඉන්දිකා රාමනායක
0 Comments