super-typhoon-saola-hong-kong-issue

සාඕලා සුළි කුණාටුව වෙරළට සමීප වීමත් සමඟ සිකුරාදා හොංකොං සහ දකුණු චීනයේ අනෙකුත් ප්‍රදේශවල ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර පාසල් සහ ව්‍යාපාර වසා දමා තිබේ. වසර පහකට පසු කලාපයේ ඇති වූ ප්‍රබලම කුණාටුව වන මෙයින් දැඩි සුළං සහ අධික වර්ෂාව ගෙනවිත් තිබේ.

සුළි කුණාටුව 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවකට සමානව පවතින අතර සුළඟ පැයට කිලෝමීටර් 220 (පැයට සැතපුම් 140) දක්වා ළඟා වී තිබේ.

කුණාටුව මීට පෙර ඊසානදිග පිලිපීනයේ ප්‍රදේශවලට බලපෑවේය.

නගරයේ තොරතුරු සේවා දෙපාර්තමේන්තුවට අනුව පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා හොංකොං හි රෝහල් ගත කර ඇත. ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තාවකාලික නවාතැන් බොහෝ ගණනක් විවෘත කළේය. ගංවතුර තත්ත්වයන් වාර්තා වූ නමුත් නායයෑම් පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

නගරයේ පදිංචිකරුවන් බ්‍රහස්පතින්දා දින, සුළි කුණාටුවට සදහා සූදානම් වූ අතර, බොහෝ දෙනෙක් ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ගබඩා කිරීම සඳහා සුපිරි වෙළඳසැල් සහ වෙළඳසැල් වෙත ඒකරාශී වී සිටිනු දැකිය හැකි විය.

සිකුරාදා දහවල් සිට තද සුළං ආරම්භ වූ අතර, කුණාටුව සිකුරාදා රාත්‍රියේ දී නගරයට සහ චීනයේ දකුණු ගුවැන්ඩොං පළාතට සෙනසුරාදා උදෑසන පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.



කෙසේ වෙතත්, ඒකාබද්ධ ටයිෆූන් අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ, කුණාටුවේ කේන්ද්‍රය ගොඩබිමට ගමන් කරනවා වෙනුවට මුහුදේ පවතිනු ඇති බවත්, එය 2 කාණ්ඩයේ සුළි කුණාටුවට සමාන වීමට ආසන්න වන විට දුර්වල වනු ඇති බවත්ය.

හොංකොං නිරීක්ෂණාගාරය (HKO) සිකුරාදා දිනයේදී, T10 කුණාටු අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් කළ අතර එය ඉහළම කුණාටු අනතුරු ඇඟවීමේ මට්ටමයි. එම නිසා බොහෝ ආයතන ,පාසල් සහ බොහෝ ව්‍යාපාර වසා දමන ලදී .

“සුළි කුණාටු ඇස වටා ඇති වඩාත් තීව්‍ර සුළං වල වළල්ල මේ වන විට නගරය හරහා ගමන් කරමින් සිටින අතර, සුළි කුණාටුවේ ඉහළ  බලපෑම හොංකොං හි නැගෙනහිර ප්‍රදේශයට බලපානවා” යනුවෙන් හොංකොං නිරීක්ෂණාගාරය (HKO) පැවසීය.

"ඉදිරි පැය කිහිපය තුළ Saola සුළි කුණාටුව හොංකොං නිරීක්ෂණාගාරයේ සිට කිලෝමීටර් 40 ක් (සැතපුම් 25 ක්) දකුණට ගමන් කරනු ඇති බවද," HKO වැඩිදුරටත් පැවසීය.

සුළි කුණාටුව තවමත් තද වැසි, ප්‍රචණ්ඩ සුළං ගෙන එනු ඇති අතර පහත් බිම්වල හා වෙරළබඩ ප්‍රදේශවල ජලය ඉහළ යාමත් සමඟ කුණාටු ඇති විය හැකි බව නිරීක්ෂණාගාරය අනතුරු ඇඟවීය.

T10 නම් වූ ඉහළ සුළි කුණාටු සදහා වන අනතුරු ඇඟවීමක් මීට පෙර අවසන් වරට නිකුත් කරන ලද්දේ 2018 දීය. ඒ අසල්වැසි මැකාවු හි පුද්ගලයින් 10 දෙනෙකු මරා දැමූ සහ හොංකොං හි සැලකිය යුතු හානියක් සිදු කළ මැන්ග්කුට් සුළි කුණාටුව සඳහා ය.



කුණාටුව නිසා ගුවන් ගමනාගමනයට ද පුළුල් බාධා ඇති වී තිබේ; සිකුරාදා උදෑසන වන විට හොංකොං ගුවන් ගමන් 366 ක් අවලංගු කර ඇති අතර තවත් 40 ක් ප්‍රමාද කර ඇති බව නගරයේ ගුවන් තොටුපල අධිකාරිය පවසයි. සුළි කුණාටුවට පෙර, හොංකොං හි ප්‍රමුඛතම ගුවන් සේවය වන කැතේ පැසිෆික් සිකුරාදා දහවල් සිට නගරයට සහ ඉන් පිටතට යන සියලුම ගුවන් ගමන් නවතා දැමීය.

Saola කුණාටුව Guangdong වෙත ළඟා වන විට, චීනයේ බලධාරීන් විසින් ටයිෆූන් රතු අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී, එය හතර වන මට්ටමේ අනතුරු ඇඟවීමකි.

හොංකොං වලට මායිම්ව ඇති අධි තාක්‍ෂණික මධ්‍යස්ථානයක් වන ෂෙන්සෙන් හී සිකුරාදා සියලුම පන්ති, වැඩ, ව්‍යාපාර, වෙළඳපල සහ ප්‍රවාහනය අත්හිටුවන ලද අතර එහි ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇත.

නගරයේ මිලියන 13 ක පදිංචිකරුවන්ට නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා ඇති අතර රැකවරණය අවශ්‍ය අය සඳහා හදිසි නවාතැන් විවෘත කර ඇත.

බ්‍රහස්පතින්දා සහ ඉරිදා අතර Guangdong හි දුම්රිය සේවා 4,000කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා ඇති බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන  Xinhua වාර්තා කරයි.

වසරකට කිහිප වතාවක් පැමිණෙන නිවර්තන සුළි කුණාටු සහ ටයිෆූන් හොංකොං වලට ආගන්තුක දෙයක් නොවේ.