pittsburgh-seeking-archers-to-help-deal-with-deer-population-crisis-parks

ඇමරිකාවේ බටහිර පෙනිසිල්වේනියාවට අයත් පිට්ස්බර්ග් නගරය මුවන් ගහනය වැඩිවීම නිසා ප්‍රශ්නයකට මුහුණදී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගහනය පාලනය කිරීමේ උත්සාහයක් ලෙස,  නගරයේ උද්‍යාන දෙකක දඩයම් කිරීම සදහා දුනුවායන් 30 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය.
ෆ්‍රික් පාර්ක් උද්‍යානය අක්කර 644 ක් වන අතර , රිවර්වීව් උද්‍යානය අක්කර 259 ක් වන බව පිට්ස්බර්ග් පාර්ක්ස් වෙබ් අඩවිය පවසයි.
එක් උද්‍යානයක දඩයම් කිරීමට කැමති ඕනෑම අයෙකු ලොතරැයි ක්‍රමයකට අනුව තෝරා ගන්නා බවත්, එයට ඇතුලත් විය හැක්කේ 30 දෙනෙකුට පමණක් බවත් නගරය පවසයි.

සුදුසුකම් ලැබීමට නම්, ඉදිරිපත් වන පුද්ගලයා පෙන්සිල්වේනියාවේ ඇලෙගීනි ප්‍රාන්තයේ ජීවත් විය යුතුය, අපරාධ පරීක්‍ෂණයන්ට ලක් නොවූවෙක් විය යුතු අතර ,  ඔහුට පෙන්සිල්වේනියා ක්‍රීඩා කොමිසමේ පසුබිම් පරීක්‍ෂණයකට මුහුණ දිය යුතුය. එසේම පිට්ස්බර්ග් හි වනජීවී කළමනාකරණ ඒකකය තුලින් අං රහිත මුවන් දඩයම් කිරීම සදහා වන බලපත්‍රයක් ද මිලදී ගත යුතුය.



ලොතරැයියකින් තෝරාගෙන පසුබිම් පරීක්ෂාව සමත් වූ පසු, තෝරාගත් දුනුවායන් නිරවද්‍යතා පරීක්ෂණයකට සහභාගී වීමට අවශ්‍ය බවද නගරය පවසයි.

"නිරවද්‍යතා පරීක්ෂණය සමත් වුවහොත්, සෑම දඩයක්කාරයෙකුටම හන්ටර් හැඳුනුම්පතක් සහ දඩයම් කිරීමට අවසර දී ඇති  ෆ්‍රික් උද්‍යානය හෝ රිවර්වීව් උද්‍යානය තුළ නිශ්චිත ස්ථානයක් පවරනු ලැබේ,".

වැඩසටහන සඳහා තෝරාගත් දඩයම්කරුවන් විසින් වැඩසටහන් මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව අනාවරණය වුවහොත් වහාම වැඩසටහනෙන් ඉවත් කරනු ලබන බවද ඔවූහූ වැඩිදුරටත් පවසයි.

මීට අමතරව, සෑම දඩයක්කරුවෙකුම ඔවුන්ගේ පළමු දඩයම ලෙස ගැහැණු මුවෙකුට වෙඩි තැබිය යුතුය.

දඩයම්කරුවන්ට ඇමක් භාවිතා කිරීමට අවසර නැති අතර ඔවුන් සිදු කල  දඩයම් පිළිබඳ පින්තූර ප්‍රසිද්ධියේ බෙදා ගත නොහැක.

 මුවන් ගහනය පාලනයකින් තොරව වර්ධනය වී ඇති අතර තමන්ට සහ මිනිසුන්ට අනතුරුදායක තත්වයක් ඇති වී ඇති බැවින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව පිට්ස්බර්ග් නගර නිලධාරීන් පැවසීය.



උද්‍යානවලින් හමුවන මිය ගිය මුවන් සංඛ්‍යාව ඉහළ යාමද, මුවන්ගෙන් කිනිතුල්ලන් පැතිරීම ඉහළ යාමද  මෙම වැඩසටහන ආරම්භ කිරීමට හේතු වී ඇත.

දුනු විදීම් වැඩසටහනේ ඉලක්කය මුවන් ගහනය පාලනය කිරීම බව පිට්ස්බර්ග් නගරය පැවසීය.

ඔවුන් මාස හයක් වයස වන විට වර්ගයා බෝ කිරීමට සමත් වන අතර,  ගැහැණු සතුන් 98% ක් පමණ සෑම වසරකම බෝ වන බව ද නගරය පවසයි.  

දඩයම් කිරීමකින් තොරව මුවන් ගහනය පාලනය කිරීමට ක්‍රම තිබුණද, පිට්ස්බර්ග් හී එම ක්‍රම ඵලදායී නොවන බව නිලධාරීන් පවසයි.