පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන විසින් ඔහුගේ බිරිඳට තලවතුගොඩ මෝටර් රථ අලෙවි සලකින් රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගෙන ඇති බවට මෙරට ප්‍රසිද්ධ වෙබ් අඩවියක් විසින් 2021 වසරේදී පුවතක් පළ කර තිබිණ.එම පුවතින් මන්ත්‍රීවරයාට ඇතිවූ සිත් තැවුල සම්බන්ධයෙන් අදාළ වෙබ් අඩවිය නුගේගොඩ දිසා අධිකරණයේදී මන්ත්‍රීවරයාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගෙන තිබේ.
ඒ එම පුවත අසත්‍යක් බැවින් එමඟින් තමාට සිදුවූ අපකීර්තිය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලමින් චන්න ජයසුමන මන්ත්‍රිවරයා විසින් නුගේගොඩ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදීය.
මෙම පුවතට පාදක කර ගත්තේ මාධ්‍ය සාකච්ඡාවලදී කියැවුණු සහ නිරන්තරයෙන් ප්රවෘත්ති සපයන මූලාශ්‍ර වෙතින් ලැබුණු තොරතුරු කිහිපයක් නමුත් පසුව වැඩිදුර සොයා බැලීමේදී එම තොරතුරුවල සත්‍යතාවයක් නොමැති බවට තහවුරු වූයේ යැයි මෙහිදී විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දී තිබේ.
එසේම එම පුවත පළ කරන ලද්දේ හුදෙක් ප්‍රවෘත්තියක් වශයෙන් මිස මහාචාර්ය චන්න ජයසුමනට හෝ ඔහුගේ බිරිඳට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් ඇතිව නොවන බවද නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය.
අදාළ පුවතේ සඳහන්වූ මෝටර් රථ සමාගම මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ තම ආයතනය සතුව තලවතුගොඩ ප්‍රදේශයේ වාහන අලෙවිසලක් නොමැති බවත් තම ආයතනයෙන් මන්ත්‍රිවරයා හෝ ඔහුගේ බිරිඳ කිසිදු මෝටර් රියක් මිලදී ගෙන නොමැති බවත්ය.
එන්නත් ගෙන්වීම හා විදේශ කොමිස් මුදල් ගැන විවිධ කථාබස් අතරේ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහ ඔහුගේ බිරිය එක්ව අධික මිලැති රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක් මිලට ගැනීමට සොයා බැලීම් කර ඇති බවත් ඒ සඳහා බත්තරමුල්ලේ පිහිටි ‘චිත්‍රසුමන මෝටර්ස්‘ නමැති පුද්ගලික කාර් සේල් ආයතනයකට ගොස් ඇති බවත් 2021 සැප්තැම්බර් මාසයේ සමාජ මාධ්‍ය තුළ වාර්තා පළව තිබුණි.
මෙම කරුණු සම්බන්ධ ලියවිලි පෙන්වමින් හිටපු ඇමති රාජිත සේනාරත්න මාධ්‍ය සාකච්ඡාවකදී අදහස්ද පළ කළේය.
ඒ සම්බන්ධ ව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර ඇත්තේ, අමාත්‍ය චන්න ජයසුමන හෝ ඔහුගේ බිරිඳ කිසිඳු විටක තම ආයතනයෙන් වාහනයක් මිල දී ගෙන නොමැති බවයි.
අමාත්‍යවරයා හෝ ඔහුගේ බිරිඳ කෙදිනක හෝ තම ආයතනයට පැමිණී බවක් ගැන නො දන්නා එහි දන්වා ඇත.
එලෙස පැමිණි දිනයක සී.සී.ටී.වී සටහන් පවතින බවට සිදු කරන ප්‍රකාශ ද අසත්‍ය බව දන්වා ඇත.
තම ආයතනයේ නම අවභාවිත කරමින් වෙබ් අඩවිවල පුවතක් පලවීම හා එම පුවත අලලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති බව ද ඔවුන් නිරීක්ෂණය කර තිබෙන බවත් මාධ්‍ය සාකච්ඡාවල පැවසූ පරිදි සිය ආයතනයේ කිසිඳු ශාඛාවක් තලවතුගොඩ ප්‍රදේශයේ නො මැති බවත් දන්වා තිබුණි.
මෙම පුවතට එරෙහිව හිටපු ඇමතිවරයා නඩු මගට එලැඹ ඇත්තේ පසුවයි.
0 Comments