cheap-drug-issue-on-court

රටේ මහත් අර්බුදයකට තුඩුදුන් තත්ත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් රෝගීන් මියයෑම සහ සංකූලතාවන්ට ලක්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු පංචපුද්ගල විශේෂඥ මණ්ඩලයක් මගින් සොයා බැලීමට පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට නියම කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂඨාධිකරණයට ඊයේ (31දා) ඉදිරිපත් කළේය.

තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම නිසා සිදු වූ මරණ හා සංකූලතා මගින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක් දෙන්නැයිද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරු ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරීය, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීමට, ලියාපදිංචි කිරීමට, ගබඩා කිරීමට, මිල නියම කිරීමට, ඖෂධවල තත්ත්වය හා ප්‍රමිතිය ආරක්‍ෂා කිරීමට, බෙදාහැරීමට, ඖෂධ සම්බන්ධයෙන් දැන්වීම් පළ කිරීමට, ඖෂධ සම්බන්ධ උපකරණ පාලනය කිරීමට, බලය ඇත්තේ මෙහි පළමු වගඋත්තරකරු වශයෙන් නම් කර ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියට බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ, පළමු වගඋත්තරකරුගේ අනුදැනුම මත ලංකාවට ගෙන්වා බෙදා හළ නිර්වින්දන ඖෂධ දෙකක් සහ අක්‍ෂි ඖෂධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත වූ රෝගීන් මියයෑමේ සහ සංකූලතාවන් ලක්වීමේ සිද්ධීන් වාර්තා වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ඖෂධ වර්ග භාවිතයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළ බවත් සඳහන් කර ඇත.



නමුත් මෙම ඖෂධ භාවිතයෙන් සිදු වූ මරණ හා රෝගී සංකූලතා සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් පරීක්‍ෂණයක් පවත්වා නැතැයිද ප්‍රශ්නගත ඖෂධ වර්ගවල ලියාපදිංචිය සම්බන්ධයෙන්ද බරපතළ ගැටලු මතු වී ඇතැයිද අදාළ ඖෂධ ආනයනය කිරීමේදී පිළිගත් ඖෂධ ආනයන ක්‍රමවේද අනුගමනය කර නැතයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ, මෙම තත්ත්වය නිසා රටේ මහත් අර්බුදයක් ඇති වූයේ යැයිද මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු පංචපුද්ගල විශේෂඥ මණ්ඩලයක් පත් කරන්නැයි ඉල්ලා සිටිති.

තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදු වූ මරණ හා රෝගී සංකූලතා නිසා වගඋත්තරකරුවන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ, මේ පිළිබඳ විනිවිදභාවයකින් යුතු අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් සහ සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥයන් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් නම් කරන්නැයිද ඉල්ලා සිටිති.

එම පංචපුද්ගල කමිටුව මාර්ගයෙන් තත්ත්වයන් බාල ඖෂධ හේතුවෙන් රෝගීන් මියයෑම සහ සංකූලතාවන් ලක්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට කැඳවීමට පියවර ගන්නැයිද වැඩිදුරටත් ඉල්ලා සිටිති.
 
බුද්ධිමාල් රුබේරු