china-teacher-ruhunu-kumari

මාතර සිට කොළඹ බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ අමතකව දමා ගොස් තිබූ වටිනා ලියකියවිලි ඇතුළත් බෑගයක් දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ට හමුවී එහි අයිතිකරු සොයා දීමට ඔවුහු පියවර ගෙන තිබුණහ.
එහි හිමිකාරිය වූවේ මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි චීන ජාතික ගුරුවරියකි.

පිටරට ලියකියවිලි, ඇඳුම් පැලඳුම්, මුදල් ඇතුළු භාණ්ඩ අඩංගු ගමන් බෑගය නැතිවී එය සොයමින් ඇය අසරණව සිටි අවස්ථාවකදී මාලිගාවත්ත දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් එය සොයා දී තිබිණි.

මනෝ වෛද්‍යවරියක, චීන කටු චිකිත්සකවරියක මෙන්ම ගුරුවරියක වූ ඇය චීන රටේ සිට මෙරටට පැමිණ තිබුණේ ඉකුත් මාසයකදීය. ඇය නැවත සිය මව් රට වෙත යෑම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යෑමේ අදහසින් නවාතැන් ගෙන සිටි ගාල්ලේ හෝටලයෙන් පිටව දුම්රියෙන් කොළඹට පැමිණ තිබුණාය.

බෑගයේ වැඩි ආරක්ෂාව සඳහා ඇය සිටි ආසනය යට තබාගෙන කොළඹට පැමිණි අතර පසුව දුම්රියෙන් බැස ගියද බෑගය අමතකව ගොස් තිබුණාය.

යළි එය සිහිපත් වන විටත් දුම්රිය නැවතුම් ස්ථානයෙන් පිටව ගොස් තිබිණි. ඇය කොටුව දුම්රිය පොළේ බොහෝ ස්ථාන වෙත ගොස් මේ පිළිබඳව සොයා බැලීම් කළ අතර පසුව ආගමන විගමන දෙපාර්තමේන්තු පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ.



මේ අතර රුහුණු කුමාරි දුම්රිය දෙමටගොඩ, මාලිගාවත්ත දුම්රිය අංගණය වෙත ගොස් තිබූ අතර ආරක්ෂක නිලධාරීන් එය පරීක්ෂා කිරීමේ දී මෙම ගමන් බෑගය හමුවී ඒ පිළිබඳව සහකාර දුම්රිය ආරක්ෂක අධිකාරි ගාමිණී දිසානායක වෙත දන්වා තිබිණි.

කාර්යභාර නිලධාරී නන්දන පෙරේරා සමග බෑගයේ හිමිකරු සෙවීම ආරම්භ කළ ද එය අසාර්ථක වී ඇත්තේ මෙය විදේශ අයෙකුගේ බව තහවුරු වීම නිසාය.

අවසානයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු එයට සම්බන්ධ ආයතන වෙත එය දැන්වීම නිසා හිමිකරු සොයා ගැනීමට හැකි වී තිබිණි.

හංග් යනී (HUANG YANNI) නමැති චීන ජාතික කාන්තාව මාලිගාවත්ත දුම්රිය ආරක්ෂක කාර්යාලය වෙත ගෙන්වා ඇයගේ සියලු භාණ්ඩ ඇතුළත් ගමන් බෑගය ලබා දීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇත. ඇය සිය බෑගය ලබා ගැනීමෙන් අනතුරුව සියලු නිලධාරින්හට තුති පුදා ඇත්තේ “ලංකාව වගේම මෙහේ මිනිස්සුත් හරිම ලස්සනයි කියමිනි.



දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්නගේ උපදෙස් මත සහකාර දුම්රිය ආරක්ෂක අධිකාරි ගාමිණි දිසානායක, කාර්යභාර නිලධාරි නන්දන පෙරේරා, සැරයන්වරු වන කපිල මාරසිංහ, එස්. නිලන් සිසිර වීරවර්ධන, මානෙල් කුමාර, සුනිල් ශාන්ත ආරක්ෂක නිලධාරින් වන ආර්.එම්. විතානගේ සහ අරුණ කුමාර යන නිලධාරීහු මෙම ගමන් බෑගය ලබාදීම සඳහා කටයුතු කර තිබුණහ.

සුරංග රාජනායක - ගම්පොළ