එළඹෙන 26වැනිදා ඩුබායි රාජ්‍ය සහ අබුඩාබිහිදී කොළඹ වරාය නගරය (Colombo Port City) එළිදැක්වීම (Launch) සිදුකරන බවත්, එහිදී 'Colombo Port Cty' වෙනුවට 'Colombo Financial City’ ලෙස නාමය වෙනස්වීමට ඉඩ ඇති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.



කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ වන නියෝගයක් ඇතුළු නියෝග කිහිපයක් පිළිබඳ ඊයේ (19දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

"එළඹෙන 26වැනිදා අපි ඩුබායි රාජ්‍යයේදී සහ අබුඩාබිවල පෝට් සිටි ලෝන්ච් එක කරන්න බලාපොරොත්තු වෙනවා. නමේ සුළු වෙනසක් වීමේ ඉඩකඩක් තිබෙනවා. ඒ අනුව Colombo Financial City කියලා ඒකේ නම වෙනස් කරන්න ඉඩකඩ තිබෙනවා. ඒක වෙන්නේ මේ කියන රෙගුලාසිවලට ඇතුළත්ව නෙවෙයි.

නමුත් බ්‍රෑන්ඩ් කිරීමේදී එහෙම කිරීමේ හැකියාවක් තිබෙනවා.

ඒ වගේම මේ මස 26වැනිදා හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාත් මේකට සහභාගි වෙනවා කියලා දැනුම් දීලා තියෙනවා.

ඩුබායි සහ අබුඩාබිවල අපි මේක කරන්න ප්‍රධානම හේතුව තමයි මේ කාලසීමාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළව සහ ආයෝජක සංසද (Investor Forum) රාශියක් මේ රාජ්‍යයේ පැවැත්වෙනවා. ඊට අදාළ ආයෝජකයෝ සියලුදෙනා කැඳවලා ඒ අයට මේකේ ප්‍රසන්ටේෂන් එක කරලා, ඔවුන් මෙහෙට ආකර්ෂණය කර ගැනීම සඳහා තමයි මේක අපි කොන්ත්‍රාත් චීන සමාගමත් සමග ඒකාබද්ධව ඩුබායි සහ අබුඩාබ්වල මේ 26වැනිදා එළිදැක්වීමට බලාපොරොත්තු වෙන්නේ."

- දිනේෂ් සමරකෝන්